ශ්‍රී ලංකාව ඒකාධිපති රටක් බවට පත්වෙමින් තිබෙනවා

  👤  2601 readers have read this article !
By mawbima 2018-12-06

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

ආසියාවේ පැරැණිම ප්‍රජාතන්ත්‍රවාදී රට වූ ශ්‍රී ලංකාව ශීඝ්‍රයෙන් ඒකාධිපති රාජ්‍යයක් කරා පරිවර්තනය වෙමින් පවතින බවත් එයට මූලිකවම වගකිව යුත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා ඔහු විසින් ලබා දුන් ප්‍රතිඥා සාහසික ලෙස උල්ලංඝනය කර ඇති බවත් ඒ සඳහා දෝෂාභියෝගයකින් පමණක් නොව රටේ සාමාන්‍ය නීතියෙන්ද දඬුවම් ලබාදිය යුතු බවත් මංගල සමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සඳහන් කර තිබේ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මංගල සමරවීර මහතා මෙසේද සඳහන් කරයි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඔක්තෝබර් 26 වැනිදා කුමන්ත්‍රණකාරීවත් ව්‍යවස්ථා විරෝධීවත් පත්කළ අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයට විරුද්ධව ඉදිරිපත් වූ පෙත්සම් විභාග කළ අභියාචනාධිකරණය පසුගිය 3 වැනිදා අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නේය. තහනම් නියෝගය ලබාදී මේ වන විට පැය 48කට වඩා කාලයක් ගතවී ඇති නමුත් රජයක් ස්ථාපිත කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැත. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව, අපේ නිදහස් ඉතිහාසයේ පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේද රජයක් නොමැති ප්‍රථම රට බවට පත්ව ඇත.

රජයක් නොමැති වීම ඉතා සරල දෙයක් ලෙස සලකන ජනාධිපතිවරයා පසුගිය 4 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී ජනතාව නොමඟ යැවීමේ අරමුණින් ඔහුගේ නූගත්කම සහ නොදන්නාකම ලෝකයටම ප්‍රදර්ශනය කළේය. ඔහු එහිදී කියා සිටියේ රජයක් නොමැතිවීම ලංකාවට අලුත් දෙයක් වුවත් ලෝකයේ වෙනත් රටවල මෙවැනි තත්ත්වයන් පවතින බවය.
ඔහු ඒ සඳහා උදාහරණයට ගන්නේ ජර්මනියයි. ජර්මනියේ පසුගිය මහ මැතිවරණයෙන් පසුව මාස 6ක් තිස්සේ රජයක් නොතිබූ බව පවසා මේ රට තුළ ඔහු විසින් සිදුකරන ලද ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය සාධාරණීකරණය කිරීමේ අසාර්ථක උත්සාහයක නිරත විය.

ජර්මනියේ මහ මැතිවරණය 2017 සැප්තැම්බර් මස පැවැත්වුවද එහිදී කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතර බලයක් හිමි කර ගැනීමට නොහැකි විය. ඒ තත්ත්වය තුළ ස්ථාවර ආණ්ඩුවක් බිහිකර ගැනීමේ අරමුණින් මාස කිහිපයක් තිස්සේ පැවැත්වූ සාකච්ඡා වට ගණනාවකින් පසු අවසානයේ 2018 මාර්තු මාසයේදී ස්ථාවර රජයක් පිහිටුවිය. රජයක් නොතිබූ කාලය ලෙස ජනාධිපතිවරයා හඳුන්වන මෙකී කාලය පුරා රටේ පාලන කටයුතු මෙහෙය වූයේ ජර්මනියේ චාර්න්සලර්වරිය (අගමැති) ලෙස ඇන්ජලා මර්කර් මහත්මිය සහ ඇගේ කැබිනට් මණ්ඩලයයි.

එපමණක් නොව එරට විශ්වාසභංග යෝජනාවකින් පසුව එක දිනක් හෝ රජයක් නොමැතිවීම වැළැක්වීම සඳහා එවැනි විශ්වාසභංගයක් ඉදිරිපත් කරන සෑම අවස්ථාවකදීම අලුතින් පත්කරන පුද්ගලයාගේ නමද විශේෂයෙන් එහි ඇතුළත් කරනු ලබයි (ඛ්ධදඵබපභජබඪමඥ ර්ධබඪධද ධට ව්ධ-ඛ්ධදටඪඤඥදජඥ)

මේ ආකාරයේ සමාන තත්ත්වයක් අද ස්වීඩනයේද පවතී. පසුගිය මහ මැතිවරණය ප්‍රතිඵල අනුව කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවිණි. ඒ තත්ත්වය තුළ බහුතරය නිර්මාණය කර ගැනීම සඳහා මාස ගණනාවක් සාකච්ඡා පවත්වා අලුත් රජයක් ස්ථාපිත කරන තෙක් එරට අග්‍රාමාත්‍යවරයා එලෙසම කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකාව තුළ මෙවැනි තත්ත්වයක් ඇති කිරීම රටේ ව්‍යවස්ථාවට, සාමාන්‍ය නීතියට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද නීති විරෝධීයි. පැය 48කට වැඩි කාලයක් පුරා මේ රට තුළ රජයක් ක්‍රියාත්මක නොවීමට කටයුතු කිරීම තුළින් ඉතිහාසයේ කිසිදා නොවූ ආකාරයේ ව්‍යවස්ථා උල්ලංඝනයක් අත්හිටුවීමක්් සිදුකොට ඇත.

කිසියම් රටක ව්‍යවස්ථාව තාවකාලිකව හෝ අත්හිටුවන්නේ නම් ඒ ඒකාධිපති රාජ්‍යවල පමණි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම කොටස් ඉතා සීරුවෙන් පෙළගැසිය යුතු මොහොතක් උදාවී ඇති අතර පක්ෂ, පාට, ජාති ආගම් භේදයකින් තොරව මේ විනාශයට වගකිවයුතු සියලු පාර්ශ්වයන්ට එරෙහිව එකාවන්ව නැඟී සිටිය යුතුය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon