එජාපෙ හා ජවිපෙ මන්ත්‍රිවරු ජනපතිට දෙහි කපති

  👤  2721 readers have read this article !
By mawbima 2018-12-06

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නොමැතිව එක්සත් ජාතික පෙරමුණේ, දෙමළ ජාතික සන්ධානයේ හා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙන් කරු ජයසූරිය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05දා) දින පාර්ලිමේන්තුව රැස්විණි.

ඊට පෙර එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම ඊයේ පෙරවරු 9.30ට ආරම්භ වූයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 2දීය. ඒ රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට අභියාචනාධිකරණය මඟින් අතුරු තහනම් නියෝගයක් ලබාදීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ කරගෙන ගිය සටන නිවැරැදි බව තහවුරු වී තිබෙන බව මෙහිදී සාකච්ඡා කෙරිණි.

එම කතාබහෙන් අනතුරුව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා යම් කාරණයක් ගැන කනස්සල්ලෙන් පැවැසුවේය.

අරලියගහ මන්දිරයේ පවත්වනු ලබන 'යුක්තියේ හඬ' මාධ්‍ය හමු ෆේස්බුක් හරහා සජීවීව විසිරුවා හැරීමේ යාන්ත්‍රණය සිදු කරනු ලබන්නේ හරීන් ප්‍රනාන්දුගේ මෙහෙය වීමෙනි.
හිටපු ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දුට ෆේස්බුක් ක්‍රියාවලිය ගැන යම් අවබෝධයක් තිබීම ඊට හේතුවයි.

නමුත් 04 වැනිදා අරලියගහ මන්දිරයේ 'යුක්තියේ හඬ' මාධ්‍ය හමුව ෆේස්බුක් හරහා සජීවී ලෙස විකාශය වන විට යම් තාක්‍ෂණික දෝෂයන් ඇති විය.

රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවට සහභාගි වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අදහස් දක්වන්නට වූයේය.
එම අවස්ථාවේදී යම් යම් තාක්‍ෂණික දෝෂ ඇති වී ෆේස්බුක් හරහා ගිය සජීවී විකාශයට බාධා එල්ල වන්නට විය.

කෙසේ නමුත් මෙම සිද්ධිය හේතුවෙන් සජිත් ප්‍රේමදාස හිටියේ යම් කලකිරීමකිනි.

එදින රාත්‍රි අරලියගහ මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී එම සිද්ධිය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස විසින් බරපතළ විවේචනයක් එල්ල කරන ලදී.

'මං මාධ්‍ය හමුවේ කතා කරනකොට ඒවා ෆේස්බුක් එකේ සජීවීව විකාශය වෙන්නේ නැහැ. ඒවා බ්ලොක් වෙනවා. මං දන්නවා මට විරුද්ධව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා' යනුවෙන් සජිත් ප්‍රේමදාස විසින් යම් දෝෂාරෝපණයක් එල්ල කරන ලදී.

මෙම ෆේස්බුක් සජීවී ක්‍රියාවලිය සම්බන්ධීකරණය කරන ලද අජිත් ගම්ලත් නමැති පුද්ගලයකුටද එක්සත් ජාතික පක්‍ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිලීප් වෙදආරච්චි විසින් ‍ෙදාස් පවරන ලදී.

මෙම තත්ත්වයන් හේතුවෙන් 'යුක්තියේ හඬ' ෆේස්බුක් ක්‍රියාවලියේ වගකීම්වලින්ඉල්ලා අස්වීමට එක්සත් ජාතික පක්‍ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු තීරණය කළේය.

ෆේස්බුක් සජීවී විකාශයේ සම්බන්ධීකරණ ක්‍රියාවලියෙන් තමා ඉල්ලා අස්වන බව සඳහන් කරන ලද ලිපියක්ද රැගෙන හරීන් ප්‍රනාන්දු ඊයේ (05දා) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට පැමිණියේය.

දැඩි දුෂ්කරතා මධ්‍යයේ අතින් වියදම් කරගෙන ෆේස්බුක් ක්‍රියාවලිය සිදු කරගෙන යන බවත් යම් යම් තාක්‍ෂණික දෝෂ ඇති වීම සාමාන්‍ය තත්ත්වයක් බවත් මේ අවස්ථාවේදී ෆේස්බුක් කණ්ඩායම විශාල කැප කිරීමක් සිදුකරන බවත් හරීන් ප්‍රනාන්දු විසින් පෙන්වා දෙන ලදී.

'එම නිසා මට නිකරුණේ ‍ෙදාස් අහන්න බැහැ. ඒක නිසා ෆේස්බුක් සම්බන්ධීකරණ ක්‍රියාවලියෙන් මං ඉල්ලා අස්වෙනවා.'

එම ඉල්ලා අස්වීම පිළිනොගත් රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙම ගැටලුව සාකච්ඡා කර බේරුම් කරගන්නා ලෙසයි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම ඊයේ පෙරවරුවේ රැස්වූයේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදීය. ඒ මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයන් පනවා තිබියදී නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව රැස්කිරීමට විරෝධය පළ කරමින් අස්සන් ලේඛනයකට අස්සන් තැබීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම තීරණය කළේය.

මෙම අස්සන් ලේඛනය පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ ලේකම් හරහා කරු ජයසූරිය කථානායක වෙත යැවීමට පාර්ලිමේන්තුවේ සභානායක දිනේෂ් ගුණවර්ධන පියවර ගෙන තිබිණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම ඊයේ දින පාර්ලිමේන්තුවට සහභාගි නොවීමට තීරණය කළද එක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු පමණක් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ සිටියේය.

එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගමය.

පසුගිය කාලය තුළ යම් යම් ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කළ නිසා කුමාර වෙල්ගමගේ පැමිණීම බොහෝ දෙනකුගේ කුතුහලයකට හේතු වී තිබිණි.

'අද ඔබතුමාලාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමම පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. ඔබතුමා පමණක් ආවේ ඇයි? අද මැතිසබයට සහභාගි වෙනවාද? එක්සත් ජාතික පක්‍ෂයට සහාය ලබා දෙනවාද? කිහිප දෙනකුම කුමාර වෙල්ගමගෙන් අසන්නට විය.

'මං ආවේ මැති සබයට යන්න නොවෙයි. මං ආවේ පාර්ලිමේන්තුවේ බැංකුවට යන්න. මං එක්සත් ජාතික පක්‍ෂයට යන්නේ නැහැ. සාධනීය විවේචනය කරමින් මං දිගටම ඉන්නේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එක්ක' එම කුතුහලයන් දුරලමින් කුමාර වෙල්ගම තමන්ගෙන් ප්‍රශ්න ඇසූ අයට පවසන්නට විය.
පාර්ලිමේන්තුවේ ඊයේ දින පැවැත්වූයේ පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයකි.

කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ ජනතා නියෝජිතයන් කිහිපදෙනකුම අදහස් දක්වමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට දිගට හරහට දෙහි කපන්නට විය.

ඊට පෙර අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ හිටපු සභානායක හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, කරු ජයසූරිය කථානායකතුමාට ප්‍රණාමය පුදකර සිටියේය.

'ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කර ගනිමින් පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑම ගැන අපගේ ශුභාශිංසන හා ප්‍රණාමය ගරු කථානායකතුමාට පුද කරනවා.

නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව පවත්වාගෙන යනවා කියලා සන්ධානයේ කට්ටිය අපිට චෝදනා කළා. නමුත් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය අභියාචනාධිකරණය මඟින් අත්හිටුවලා තියෙනවා. මේ අගමැති හා කැබිනට් මණ්ඩලය නීති විරෝධී කියලා අධිකරණයත් ප්‍රකාශ කරලා තියෙනවා' යනුවෙන් ලක්‍ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්‍ෂයේ කිහිප දෙනකුම නැඟීසිටිමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දැඩි විවේචනයකට ලක් කළ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් දැඩි ලෙස ජනාධිපතිවරයාව විවේචනය කරන ලදී.

'ප්‍රබල රටවල ජනාධිපතිවරුන් ඉහළ බලධාරීන් වසරකට සැරයක් සති 2ක් මානසික රෝහලකට යොමු කර මානසික තත්ත්වය පරීක්‍ෂා කරනවා. ඒ වගේ අපේ රටෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනාවක් එකතු කර හෝ එම ක්‍රියාවලිය සිදු කරන්න කියලා මං යෝජනා කරනවා' යනුවෙන් සරත් ෆොන්සේකා ප්‍රකාශ කරන විටම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මේසවලට තට්ටු කරමින් සතුට ප්‍රකාශ කළහ.
මේ අතර ඊයේ පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්සද ජනාධිපතිවරයාව දැඩි විවේචනයට ලක් කළේය.

නිල් සායම් බාල්දියේ වැටුණු හිවලකු නිල්පාට වීම නිසා කැලයේ සතුන් එම හිවලා රජ කළ බවත් පසුව හිවලා 'හූ' තබන විට හිවලාගේ නියම තත්ත්වය හෙළි වූ ආකාරය ගැන දීර්ඝ ලෙස අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස එම උපමා කතාව ශ්‍රී ලංකාව තුළ සැබෑ වී ඇති බව පෙන්වා දුන්නේය.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන ආකාරය අනුව ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒම වාගේම මොහුගේ ප්‍රජා අයිතියද අහෝසි කළ හැකි බව විවාදයට එක් වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් ප්‍රකාශ කළේය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon