14න් පසුව කුසල් ගැන තීරණයක් ගන්න හැකිවේවි - තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල්

  👤  2458 readers have read this article !
By mawbima 2018-12-06

විචිත්‍ර වීරසිංහ

එංගලන්තය සමඟින් පැවැති එක්දින තරගාවලියේ දෙවැනි තරගයේදී ආබාධයට ලක්වූ කුසල් ජනිත් එළැඹෙන නවසීලන්ත ටෙස්ට් තරගාවලියට ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතාගෙන් "මව්බිම" කළ විමසීමකදී ඔහු පැවැසුවේ ශාරීරික යෝග්‍යතාව යහපත් වුවහොත් පමණක් කුසල් ජනිත් නවසීලන්තය සමඟින් පැවැත්වෙන එක්දින තරගාවලියට යොදාගන්නා බවය.

"කුසල් දැනට සාමාන්‍ය විදියට පුහුණුවීම් කරනවා. ඒත් ඔහු එකවරම අපට තරගයකට යොදාගන්න අපහසු නිසා දෙසැම්බර් 14න් පස්සේ පැවැත්වෙන කුමන හෝ තරගයකට ඔහු යොදාගෙන ඉන් එහාට ගත හැකි ක්‍රමවේදය ගැන විමසා බලනවා. කොහොම වුණත් කුසල් දැන් සම්පූර්ණ සුව අතට හැරී ඇති බව දැනගන්න ලාබුණා. ඒත් මම කලින් කිව්ව වගේ ඔහු තරගයකට යොදාගෙන ඉන්පසු ශාරීරික යෝග්‍යතා නිරීක්‍ෂණයකින් අනතුරුවයි කණ්ඩායමට තෝරාගන්නවාද? නැද්ද තීරණය කරන්නේ" යනුවෙන්ද මෙල් මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ තරග දඟ පන්දු යවන තණතීරුවල පමණක් ක්‍රීඩා කර තිබීම හේතුවෙන් නොවැම්බර් 30 හා දෙසැ. 1 වැනිදා වෙනස් තණතීරුවක ශ්‍රී ලංකාව තුළදී පුහුණුවේ යෙදෙන බව හතුරුසිංහ විසින් පසුගියදා පවසන ලද කරුණ පිළිබඳව විමසූ අවස්ථාවේදී තේරීම් කමිටු සභාපතිවරයා පැවැසුවේ මෙවැන්නකි.

"මම හිතන්නේ හතුරුසිංහ ඕස්ට්‍රේලියාවට ගියේ 1 වැනිදා. හතුරුසිංහ එහෙම කිව්ව කියලවත්, එහෙම පුහුණුවක් වුණා කියලවත් මම දන්නේ නැහැ. කොහොම වුණත් නවසීලන්තය සමඟ තෙදින පුහුණු තරගයක් තියෙන නිසා ඒ තරගයේදී අපිට නවසීලන්ත තණතීරුවලට හුරුවෙන්න අවස්ථාව ලැබේවි" යැයිද කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon