ලංකාවේ ක්ලබ් ක්‍රිකට් ක්‍රීඩා කරන්න තායිබු බදුරලියට

  👤  2428 readers have read this article !
By mawbima 2018-12-06

ගමිත දෙහිපිටිය

ශ්‍රී ලංකා ක්‍රීඩක සචිත් පතිරණගේ ආරාධනාවකට අනුව ස්ම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටටෙන්ඩා තායිබු 2018 ශ්‍රී ලංකා අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී බදුරලිය ක්‍රිකට් කණ්ඩායම සමඟින් එක් වන බව වාර්තා වේ. එමෙන්ම තායිබු බදුරලිය කණ්ඩායම සමඟින් එක්වන්නේ කිසිදු ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමකින් තොරව වීමද විශේෂත්වයකි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් 'මව්බිම' සිදුකළ විමසීමකට පිළිතුරු දුන් සචිත් පතිරණ "තායිබු මගේ හොඳ මිත්‍රයෙක්. සිම්බාබ්වේහිදී පැවැති බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව සහභාගි වුණු තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අතරතුරත් මට ඔහුව මුණගැසුණා. නමුත් ඉන් පසු ඔහු එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට එංගලන්තයට ගියා. මම බදුරලිය ක්‍රීඩා සමාජයේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන බව එංගලන්තයේදී ඔහුට රාගම ක්‍රීඩා සමාජයේ රොෂාන් අබේසිංහ මහතා හමුවූ අවස්ථාවේ පවසා තිබුණා. ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට කැමැති බව තායිබු රොෂාන් අබේසිංහ මහතා සමඟ පවසා තිබුණා. ඒ අනුව මම ඔහුට ආරාධනා කළා ශ්‍රී ලංකාවට පැමිණ මෙම තරගාවලියට සම්බන්ධ වන ලෙස. ඔහු පෙරේදා (4දා) ලංකාවට පැමිණියා. ඒ අනුව 16 වැනිදා සිට ඔහු බදුරලිය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි. " යනුවෙන් ප්‍රකාශ කළේය.

තවද තායිබු කිසිදු ක්‍රීඩක කොන්ත්‍රාතුවකට අස්සන් කිරීමකින් තොරව මෙම තරගාවලියට බදුරලිය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන බවද පැවැසූ සචිත් පතිරණ "ඔහු කිසිදු ක්‍රීඩක කොන්ත්‍රාත්තුවකට අස්සන් කර නැහැ. ඔහුට ගෙවන්නේ ලංකාවේ ක්‍රීඩකයන්ටත් ගෙවන තරග ගාස්තුව පමණයි. සම්පූර්ණයෙන්ම ඔහුගේ ආශාවටයි ඔහු බදුරලිය කණ්ඩායම සමඟ එක්වුණේ. කෙසේ වෙතත් අපට අතිරේක කඩුලු රකින්නකුගේ අවශ්‍යතාවකුත් තිබුණා. ඒ වගේම ඔහු සිම්බාබ්වේ හිටපු නායකයා නිසාත් මම, බදුරලිය කණ්ඩායම සමඟින් එක්වීමට ඔහුට ආරාධනා කළා. ඒ වගේම සුබ්‍රමනියම් ආනන්ද් සහ රිස්වාන් හයිඩර් යන විදෙස් ක්‍රීඩකයන් දෙදෙනාත් බදුරලිය කණ්ඩායමට ක්‍රීඩා කරනවා." යනුවෙන් වැඩිදුරටත් අදහස් දැකවූ සචිත් පතිරණ ප්‍රකාශ කළේය.

තවද වසර 6කට පසුව වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට ඇතිවූ ප්‍රධානම පෙලඹවීම තම පුතු, තමන් ක්‍රිකට් ක්‍රීඩා කරනු සියැසින් දැක නැති වීම බවද විදෙස් මාධ්‍යයකට අදහස් දක්වමින් පවසා ඇති තායිබු "ඔබ කෙසේද ක්‍රිකට් ක්‍රීඩා කළේ යන්න මගේ පුතා සෑම විටම මගෙන් අසන ප්‍රශ්නයක්. දැන් ඔහුත් ක්‍රීඩාවට ආදරය කිරීමට පටන් අරන්. මම සිම්බාබ්වේ වෙනුවෙන් ක්‍රීඩා කරන කාලයේ ඔහු ඉතා කුඩා දරුවෙක්. කෙසේ වෙතත් මම නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීම සඳහා අවශ්‍ය මනා ශාරීරික යෝග්‍යතාවයෙන් යුක්තවනවා." යනුවෙන් ප්‍රකාශ කර ඇත.

ටටෙන්ඩා තායිබු සිම්බාබ්වේ වෙනුවෙන් ටෙස්ට් තරග 28කට, එක්දින තරග 150කට සහ විස්සයි-20 ක්‍රිකට් තරග 17කට ක්‍රීඩා කර ඇති අතර 2012 වර්ෂයේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon