එළැඹෙන උත්සව සමයේ විශේෂ වැටලීම්

  👤  2411 readers have read this article !
By mawbima 2018-12-06

හර්ෂනී අර්සකුලරත්න

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් මේ මස 16 වැනිදා සිට ජනවාරි 06 වැනිදා දක්වා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කොට්ඨාස 1760ක් ආවරණය වන පරිදි විශේෂ වැටලීම් කණ්ඩායම් යොදවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පවසයි.
බස්නාහිර පළාත වෙත සුවිශේෂී අවධානයක් යොමු කරමින් විශේෂයෙන්ම කිතුනු බැතිමතුන් බහුල ප්‍රදේශද ආවරණය වන ලෙස එම වැටලීම් සැලැස්ම සකස් කොට ඇති බව ඔහු 'මව්බිම'ට පැවැසීය.

ඒ අනුව හදිසි වැටලීම් කණ්ඩායම් යොදවා මේ සැලසුම ක්‍රියාත්මක කරන බවත් මේ වන විට මෙරට ආහාර පනත සහ ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ අලෙවියේදී නිෂ්පාදකයන් සහ වෙළෙඳුන් කළ යුතු සහ නොකළ යුතු දෑ සම්බන්ධව කොට්ඨාස මට්ටමින් වෙළෙන්දන් සහ නිෂ්පාදකයන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම පැවැසීය.
උත්සව සමයේදී වැඩි වශයෙන් මිලට ගන්නා සහ පරිභෝජනය කෙරෙන ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ පිළිබඳ පාරිභෝගිකයන්ට සිය විශේෂ අවධානය යොමු කරන ලෙසද ඔහු දන්වා සිටියේය.

විශේෂයෙන්ම පරිභෝජනයට ගැනෙන අත්‍යවශ්‍ය ආහාර වර්ග අතරින් වර්ණ ගන්වන ලද රතු කැකුළු සහල්, නුසුදුසු වර්ණ යෙදූ කේක්, බිස්කට් ඇතුළු රසකැවිලි වර්ග මෙන්ම කල් ඉකුත් වූ භාණ්ඩද නැවත වෙළෙඳපොළට පැමිණීමේ අවදානමක් ඇති බව පෙන්වා දුන් ඔහු සඳහන් කළේ, මේ සමයේදී කෘමීන්ගෙන් හානි වූ ආහාර, ලේබල් රෙගුලාසි කඩ කරමින් අලෙවි කරන ආහාර සහ තොග වශයෙන් ගබඩා කිරීමේදී පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වූ කල් ඉකුත් වූ ආහාර වර්ගද වැඩි වශයෙන් අලෙවි වන බවයි.

පාරිභෝගිකයන් තමන් අතට පත්වන ආහාර සහ භාණ්ඩ සම්බන්ධයෙන් අවධානය යොමු කොට සැක සහිත එවැනි අලෙවි කිරීමක් සිදුවේ නම් ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ දුරකථන 011-2635675 යන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මූලස්ථානය වෙත දැනුම් දෙන ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon