සැහැල්ලු දුම්රිය සේවයක් 2020දී ආරම්භ කරනවා

  👤  2528 readers have read this article !
By mawbima 2018-12-06

කඩවත _ උදාර මදුසංක

කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල ඇති මාර්ග තදබදයට ස්ථිරසාර විසඳුමක් ලබාදීම සඳහා වූ
සැහැල්ලු දුම්රිය පද්ධතියක් ඇති කිරීමේ ජාතික ව්‍යාපෘතිය 2020 වසරේදී ආරම්භ වන බවත් 2025 වනවිට එම සේවාව ලබාගැනීමේ අවස්ථාව ජනතාවට හිමි වන බවත් මහ නගර සභා බස්නාහිර සංවර්ධන ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පී. දිසානායක මහතා පවසයි.

ඔහු පැවැසුවේ මෙම ව්‍යාපෘතිය
පිළිබඳව ජනතා නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා මහර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමකට එක් වෙමිනි.
මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනි සුදීමා චාන්දනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුව අමතා තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවැසීය.

මේ වනවිට දවසට ලක්ෂ 12ක් විතර ජනතාවක් කොළඹට ඇදී එනවා. ඒ නිසා පෞද්ගලික වාහන වැඩි වෙලා. මේකට විසඳුමක් ලෙස පොදු බස් සේවා ක්‍රියාත්මක කළත් ඒ හරහාත් මාර්ග තදබදයක් නිර්මාණය වෙනවා. මීට තියෙන එකම ස්ථිර විසඳුම තමයි සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය.

මේ නිසා බස් සහ ත්‍රීවීල් හිමියන්ට හානියක් සිදුවෙන් නැහැ. මෙම සැහැල්ලු දුම්රිය නැවතුම් කේන්ද්‍ර කරගෙන සුඛෝපභෝගී බස් සේවයකුත් එම බස් රථ ඉලක්ක කරගනිමින් ටැක්සි සේවාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම දුම්රිය සඳහා අය කරන්න බලාපොරොත්තු වෙන්නේ අර්ධ සුඛෝපභෝගී බස් රථයක ගාස්තුවමයි.

කිලෝමීටර් 15 දුරක් සඳහා ගාස්තුව රුපියල් 90 අඩුයි. ඒ වගේම මෙය ඉතා ආරක්ෂාකාරි ප්‍රවාහන ක්‍රමයක්. මේ යටතේ රාගම සිට කිරුළපන දක්වාත්, මොරටුව සිට කැලණිය දක්වාත්, කොට්ටාව සිට හුණුපිටිය දක්වාත් සැහැල්ලු දුම්රිය මාර්ග තුනක් ඉදිවෙනවා. මේ සියලු මාර්ග කණු මත ඉදිවන නිසා පරිසරයට හානියක් නැහැ.

පැයට කි.මී. 80 පමණ වේගයකින් ධාවනය කරන මෙම දුම්රිය නිසා කඩවත සිට කොළඹට ගමන් කිරීමට ගත වන කාලය මිනිත්තු 30 වඩා නොවන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසා සිටියේය.

එසේම මෙම දුම්රිය මාර්ගයේ කිලෝමීටර් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් වැය වන බවත් සමස්ත දුම්රිය පද්ධතියේ මුළු දුර කි.මී. 84 බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon