දෛවයේ සරදම පරදා ජීවිතය සොයන හෂිනි

  👤  2495 readers have read this article !
By mawbima 2018-12-06

ජීවිතය හැම විටම සුන්දර නොවේ. දුක් කම්කටොලු සුඛ දුක්ඛ දෝමනස්සයන් හමුවේ ජීවිතයට මුහුණ දීම ජීවත් වීම වේ. තමන් සතු බොහෝ දේ අහිමි වීමෙන් ජීවිතෙන් පලා යන බොහෝ පිරිස් අපට හමුවේ. එවන් පුද්ගලයන්ටඅභියෝගයක් කරමින් ජීවිතය හඹා යන යුවතියක් වූ ඇය මට හමුවන්නේ මීට වසරකට පෙරය. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදීය.

ඇය පිළිබඳව පුවත්පතින් කළ හෙළිදරව්වෙන් ඇයට උපකාර කරන්නට බොහෝ පිරිස් ඉදිරිපත් වූහ. ඇය මේ අසීරු අඩියකට පත්ව ඇති හෙයින් ඇය කෙරෙහි අවධානය යොමු කර උදවු කරන්නට හැකිදැයි විමසූ හෙයින් පාඨක ඔබේ අවධානය යළි ඇය වෙත යොමු කිරීමට කැමැත්තෙමු.

ඇය නමින් ඩී.එන්. හෂිනි මධුෂානිය. පන්නල ප්‍රදේශයේ ඉපදුණු ඇය දෑසින්ම ලොව බලන්නට වාසනාවන්ත වූවාය. එහෙත් ඒ අවුරුදු 12ක් වන තෙක් පමණි. දෛවය අකාරුණික වෙමින් ඇයගේ නෙත් යුග ලොව දකින වරම අහිමි කළාය. දුක් සැප දෙකෙහි පණ මෙන් ළඟ රැඳි ආදරණීය මව ඇයට වසර 14 වන විට දිවියෙන් සමුගත්තාය. එතැන් පටන් ඇය භාර වූයේ එකම සොයුරා සහ ඇයගේ මිත්තණියටය.

සාමාන්‍ය දරුවන් හා එක්ව කෙළි සෙල්ලම් කළ ඇයට ටිකෙන් ටික බේ්‍රල් ක්‍රමය ඔස්සේ අකුරු කරන්නට සිදුවුණත් උත්සාහය අත් නොහරින්නට වගබලා ගත්තාය. ඇය ස්වඋත්සාහයෙන් ශ්‍රී ජයවර්ධනපුර සරසවි වරම ලබා සමාජ හා මානව ශාස්ත්‍ර පීඨයේ අවසන් වසරේ ඉගෙනුමලබන්නීය. විශේෂවේදී උපාධිය හදාරමින් සිටියත් සාමාන්‍ය උපාධියට මාරු වීමට සිදුවූයේ නිතර නිතර ඇගේ මිත්තණිය අසනීප වීම නිසාය.

ජීවිතේ ඇතැම් සරදම්වලින් බැට කන ඇය ඒ කෙරෙහි අනුකම්පා සහගත උපේක්‍ෂාවෙන් බලන්නීය.

වසරකට පෙර පුවත්පතින් කළ හෙළිදරව්වෙන් පසු ඇයට, මවට හිමි ඉඩමක නිවහනක් තනන්නට පල්ලියක පූජකතුමකු ඉදිරිපත් වීම මත කුඩා නිවෙසක් හිමිවිය. එහි අඩුපාඩුකම් සපුරා ගන්න පාඨක ඔබේ උදවු උපකාර ඇවැසි බව පැවැසුවාය. ඇගේ සොයුරාද මේ වන විට උසස් පෙළ විභාගය නිම කර සිටින බවද සිහි කළාය.

'උපාධියෙන් පස්සේ උපදේශන සේවයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවා. පේන්නේ නැති අයට වඩා පෙනෙන අයට ආදර්ශයක් දියහැකි නම් ඊට වැඩිය හොඳයි. හොඳට පෙනෙන අතපය හතර හොඳට තියෙන අය ඕන තරම් ඉන්නවා තමන්ට කිසිවක් කර කියාගත නොහැකියි කියලා. නැති බැරි අයට උදවු කරන්න ඕන තරම් අය ඉන්නවා. ඒත් ගමේ, සමාජයේ ඉන්න බොහෝ පිරිස් තමන්ගේ හැකියාවන් දක්‍ෂතාවන් ගැන නොදැන සැඟව ඉන්නවා. අපි හැමදාම කරන්නේ ආබාධිත දිනයන්හි, සුදුසැරයටි දිනයන්හි පේන්නැති අයව එක්කරගෙන උත්සව සමරන එකනෙ. මට වෙන්න ඕනේ පේන සමාජයට අතපය හතර තියෙන අයට ආදර්ශයක් දෙන්නයි. හිතනවා නම් ඒ අයට ඕනෑම තැනකට යන්න හැකියාව තියෙනවා. ඕනෑම දේකට මුල් වෙන්නේ හිතයි. ඒ හිත් ශක්තිමත් කරන්න පුළුවන් නම් අපේ ඉලක්කවලට පහසුවෙන් යා හැකියි.

පල්ලියේ ආධාරයෙන් ඇගේ කාමර දෙකක් සහිත නිවෙස ඉදිකර ඇත. එහෙත් පදිංචි වියහැකි තත්ත්වයේ නැති බව පවසයි. කපරාරු කර වැසිකිළි කැසිකිළි පහසුකම් සලසා ගත යුතුව ඇත. උයා පිහා ගැනීමට මුළුතැන්ගෙයක අවශ්‍යතාවද පවතී. ඇයට එළිය දැකිය නොහැකි වුවත් මිත්තණියට හාසොයුරාගේ කටයුතුවලට විදුලිය ලබා ගැනීමද අවශ්‍යය.

ඇගේ මිත්තණිය මෙසේ පැවැසුවාය.
මේ දරුවෝ දෙන්න ගැන බලන්න කෙනෙක් නෑ. මම විතරයි ඉන්නේ. මටත් අවුරුදු 74ක් වෙනවා. එයාගේ මල්ලීත් තවම ඉගෙන ගන්නවා. ෆාදර් කෙනෙක් ගේ පොඩ්ඩක් හදලා දුන්නා. ඒකේ ඉතිරි වැඩ ටික කර ගන්න තමයි උදවු ඕනෑ. කුස්සියක් වැසිකිළියක් ඕනෑ. අම්මා නැති දරුවන්ට පුළුවන් උදව්වක් කරන්න කියන එකයි ඉල්ලන්නේ.'
ඩී.එන්. හසිනි මධුෂානි, පරගම්මන, හේන්යාය, යක්පිල ඇගේ ලිපිනයයි. ලංකා බැංකුවේ අයි.ඒ. මැගිලින් නෝනා සහ ඩී.එන්. හෂිනි මධුෂානි නමින් ඇති 3034283 හවුල් ගිණුමට ඔබගේ පරිත්‍යාග යොමු කළ හැකියි.

බෙලිහුල්ඔය - සමන්තා රත්නායක 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon