මල් වට්ටියක් අතේ තියාගෙන හිටිය මහින්දට මෛත්‍රිපාල ගොම හට්ටියක් දුන්නා

  👤  2569 readers have read this article !
By mawbima 2018-12-05

පසුගිය කාලයේ අපේ මැදිහත්වීමෙන් ස්වාධීන කොමිෂන් සභා සකස් කළ නිසා, ව්‍යවස්ථාදායක සභා හදපු නිසා, රටේ ශිෂ්ටත්වයක් හදපු නිසා රටේ මේ ඇති වූ ප්‍රශ්නය ලේ වැගිරීමකින් තොරව බේරිලා තිබෙනවා' යැයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මීගහතැන්නේදී කිවේය.

ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන සදාචාරය වෙනුවෙන් විද්වත් කතිකාව සම්මන්ත්‍රණය මීගහතැන්න සණස ශාලාවේදී පැවැති අතර එම සභාව අමතා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේද කීවේය. 'සති පහකුත් දින පහක් ගතවෙලත් තවම සම්පූර්ණයෙන් මේක පරාජය කරල අවසාන නැහැ.

ජනතාව පාරට බැහැලා තවම මේ ප්‍රශ්නයේදී තමන්ගේ අරගලය ආරම්භ නොකිරීම ගැන අපි සතුටු වෙනවා. තවම මේ ප්‍රශ්නය ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් විසඳුමක් ලැබෙන තෙක් රටේ ජනතාව බලා සිටිනවා. පාර්ලිමේන්තුව ඇතුළෙ මේක විසඳගන්න උත්සාහ කරනවා.

දෙසැම්බර් 7 වැනිදා ශේ‍ර්ෂ්ඨාධිකරණය තමන්ගෙ තීන්දුව ප්‍රකාශයට පත් කළාට පසුවත් රටේ බහුතර මතයට, ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියට අනුව මේ ප්‍රශ්නය විසඳුණේ නැති නම් තවදුරටත් මේක පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් බවට පත් නොවෙන්න පුළුවන්. ප්‍රශ්නය පාරට එන්න පුළුවන්. ඒ නිසා කුමන්ත්‍රණයක් කෙළවර වන්නේ කොතැනින් දැයි කාටවත් කිව නොහැකියි.

මෛත්‍රිපාල සිරිසේන මහතාත් හා මහින්ද රාජපක්ෂ මහතාත් හිටිය ගමන් මේ අලුත් කසාදෙට ආවෙ ඇයි කියලා බොහෝ දෙනකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. 2015 ජනවාරි 8 වැනිදා මේ රටේ ලක්ෂ 62ක් ජනතාව මෛත්‍රිපාල සිරිසේන මහතාට කතිරය ගැහුවෙ එතුමාගෙ තියෙන හොඳ කමක් නිසා නෙවෙයි. ඒ සියල්ල රාජපක්ෂ විරෝධී ඡන්දයි. ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වීම සිරිසේන මහත්තයාගේ බලාපොරොත්තුවයි. නමුත් ඒ සඳහා උදවු කරන්න කෙනකු නැති නිසා සිරිසේන මහතා පොහොට්ටුව දිහාවට හැරුණා.

මහින්ද රාජපක්ෂට හිතවත් බොහෝ දෙනා අහන්නෙ අපරාදෙ කරගත්ත දෙයක්. තව අවුරුදු එකහමාරක් ගිහිල්ල ඡන්දයකට ඉදිරිපත් වුණා නම් යස අගේට පාර්ලිමේන්තු බහුතරයක් හදා ගන්න තිබුණා කියලයි.
අවුරුදු එකහමාරක් යනකොට තවත් පිරිහෙනවා. එහෙම නම් මහින්ද රාජපක්ෂ මහතාට නිකම් හිටියත් ආණ්ඩුවක් ගන්න පුළුවන් වෙනවා. වෙල්ගම වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් ප්‍රතිපත්තියක ඉන්න අය අහනවා මල් වට්ටියක් අතේ තියාගෙන හිටපු මනුස්සයගෙ අතට ගොම හට්ටියක් දුන්නෙ ඇයි? කියල.

මේකට කරුණු කීපයක් බලපාල තියෙනවා. මේකට පළමු හේතුව මහින්ද රාජපක්ෂ මහතාගේ බලයට තිබෙන කෑදරකම. දෙවනුව කිව්වොත් ඕන බලයක් ගන්නවා. දෙවැන්න යහපාලන ආණ්ඩුව ජනතාවට දීපු ප්‍රධාන පොරොන්දුව හොරු ඇල්ලීම හා දඬුවම් දීමයි. අවුරුදු තුනහමාරක් ඒක නොණ්ඩි ගසමින් ගිහිල්ල මේ නොවැම්බර් මාසෙ වන විට නඩුවලට දින තීරණය කර තිබුණා. ඒ නිසා රාජපක්ෂලාගේ ඉහ මොළ රත්වුණා.
ආණ්ඩුවක් කියල පාර්ලිමේන්තුව වර්ජනය කරල මැති ඇමැතිවරු ලෙස හැසිරෙමින් පොලිසියට එෆ්.සී.අයි.ඩී. එකට රජයේ නිලධාරීන්ට තර්ජනය කරමින් බිය ගන්වමින් කටයුතු කරනවා. නමුත් දැන් නඩු කැඳවනවා කල් යනවා. නීතිපති දෙපාර්තමේන්තුව නඩුවලට පෙනී සිටීමට පස්ස ගහනවා. මේ අයගේ වුවමනාව නඩු ගොනු කරන නිලධාරීන් බිය ගැන්වීමයි.

අනෙක් කාරණය වැදගත් මහින්ද රාජපක්ෂ මහතාට පමණයි. ලබන වසරේදී ජනාධිපතිවරණයක් ආවොත් මහින්දට ඉල්ලන්න බැහැ. නාමල් මෝරල නෑ. ඒ නිසා අකැමැත්තෙන් හරි ගෝඨාභය රාජපක්ෂ ආවම නාමල්ගෙ අනාගතය ඉවරයි. නාමල්ට වෙන්නෙ මහින්ද ශෂින්ද්‍ර රාජපක්ෂට සිදු කළ දේමයි. ඒ නිසා මහින්ද රාජපක්ෂ අගමැති කමේ ඉඳගෙන නාමල්ට පාර කැපිය යුතුයි. මට බැරි නම් මෛත්‍රිපාල හිටියත් කමක් නැහැ කියලා මහින්ද හිතනවා.

මෙන්න මේ නිසා කවදාවත් පෑහෙන්නෙ නෑ කියපු දීගෙ පූට්ටු වුණා.

මේ සියල්ල සිදු වූයේ ඉහළින් ඉන්න කීප දෙනකුගේ පෞද්ගලික බල තණ්හාව නිසයි. බල තණ්හාවට රටක් විනාශ කළා. අපේ වාසනාවට රටේ වාසනාවට ජනතාව මේ අරගලය පාරට අරගෙන ගියේ නැහැ. ඒක රටේ වාසනාවක්.

මතුගම - වසන්ත කුමාර පයාගල - සුජිත් මාරියෝ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon