මේ ගැටුම ලේ ගංගාවකින් කෙළවර වීමට ඉඩකඩ තියෙනවා

  👤  2626 readers have read this article !
By mawbima 2018-12-05

ලෝකයේ රටවල අණ්ඩුක්‍රම ව්‍යවස්ථා අපේ රටට අදාළ නොවන බැවින් මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා (02දා) සිදුකළ විශේෂ ප්‍රකාශයේ කරුණු දැක්වීම් සාවද්‍ය බව නීතිඥ එකමුතුවේ සාමාජික, ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැවැසුවේය.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පවතින්නේ දෙමුහුම් ආණ්ඩුක්‍රමයක් බවත්, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව යන රටවල පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ නොවන බැවින්, එම රටවල උදාහරණ ගෙන අපේ රටේ පාර්ලිමේන්තුවේ ක්‍රියාවලීන් සාධාරණීකරණය කිරීම පදනම් විරහිත වැඩක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

නීතිඥ එකමුතුව විසින් පෙරේදා (03දා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න,
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලි විධිවිධාන තිබෙනවා විසුරුවා හැරීමට. අපේ ජනාධිපතිට හිතුමතේ තමන්ගේ කැමැත්ත අනුව විසුරුවා හැරීමට කලින් තිබුණු අසීමිත ඉඩකඩ 19 වෙනි සංශෝධනයේ ඉවත්කර තිබෙනවා.

රාජපක්ෂ මහතා කියනවා එංගලන්තයේ 1834 පාර්ලිමේන්තුව විසුරුවා හැරියා කියලා ඒ කාලේ හිටපු රජු විසින් අගමැතිගේ උපදෙස් නැතුව. දැන් අවසාන වරට එහෙම වෙලා අවුරුදු 184ක් ගිහින් ඉවරයි. මේ අවුරුදු 184 අතුළත කිසිම වෙලාවක රජු හෝ රැජන පාර්ලිමේන්තුවේ බහුතරය හිමි අගමැතිගේ උපදෙස් නැතුව කටයුතු කරලා නැහැ.

ඒ වගේම රාජපක්ෂ මහතා කියනවා 1975දී ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයාගේ උපදෙස් නැතුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා කියලා. ඕස්ට්‍රේලියාවේ ව්‍යවස්ථාවට අනුව එහෙම විසුරුවා හරින්න පුළුවන් නමුත් අගමැතිවරයාගේ උපදෙස් අවශ්‍යයි.

මෙහිදී අදහස් දැක්වූ ජේ.සී. වැලිඅමුණ මහතා,
ඔවුන් නීත්‍යනුකූල ආණ්ඩුව කියලා විශ්වාස කරනවා නම් ඔවුන් පාර්ලිමේන්තුවට ආ යුතුයි.

ලබන අවුරුද්දට අය වැයක් නෑ. මේ රටේ ඒ වගේම පාර්ලිමේන්තුවට හැකියාවක් තිබෙනවා අමාත්‍යාංශවල වැය ශීර්ෂ නතර කරන්න. ඒවා නතර කළාට පස්සෙ කවුරුහරි ඒවා පාවිච්චි කරනවා නම් අපරාධ නඩුවකින් ඒවා කෙළවර වෙන්න පුළුවන්.

දිගටම අපි දැක්කා පාර්ලිමේන්තුවේ සහ විධායකයේ තියෙන මේ ගැටුම මඟින් රාජ්‍ය පාලනය නතර කිරීමේ දිශාවකට ගමන් කරනවා. මේක නතර කළේ නැත්නම් ලේ ගංගාවකින් මේක කෙළවර වෙන්න පුළුවන්. මෙය වැළැක්වීමේ වගකීම අපි හැමෝටම තියෙනවා.

මෙහිදී අදහස් දැක්වූ නීතිඥ තුෂාර රණතුංග,
පසුගිය ඔක්තෝබර් 26 ඉඳලා අපේ රට ලංකා ඉතිහාසයේ කවදාවත් නොවුණු විදියට ආර්ථික, සාමාජීය, සංස්කෘතික වශයෙන් පහළට වැටුණා. මේ කඩාවැටීමට ලක්වූයේ මේ රටේ විධායක ජනාධිපතිගේ අමනෝඥ ක්‍රියාකලාපය නිසා.

ඊට අමතරව ඔහු සමාජ මතයක් ගොඩනඟන්න යනවා, ජනතාවගේ පරමාධිපත්‍ය තියෙන්නේ ජනතාව අතේ, ඒ නිසා වහාම මහ මැතිවරණයකට යන්න කියලා. අපිත් කියනවා මහ මැතිවරණයකට යා යුතුයි. නමුත් ජනතාවගේ පරමාධිපත්‍ය ඔවුන්ට ඕනි ඕනි වෙලාවට උරගා බලන්න බැහැ.

අපි තවදුරටත් කියනවා ඔහු නීත්‍යනුකූල අගමැතිවරයෙක් නෙවෙයි. ඔහුව පත්කරපු විධායක ජනාධිපතිත් මේ වනවිට පිළිඅරගෙන තියෙනවා ඔහුට බහුතර බලයක් නැහැ කියලා. රනිල් වික්‍රමසිංහ නැතුව එජාපයේ ඕනිම කෙනෙකුව අගමැති තනතුරට නම් කරන්න කියලා ඔහු කියනවා. මහින්ද රාජපක්ෂ නීත්‍යනුකූල අගමැති නම් ඇයි ඔහු ඒ වගේ කතා කියන්නෙ? ජනාධිපතිවරයාට රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තිබෙන්නේ පෞද්ගලික තරහක් බව මේකෙන් ඔප්පු වෙනවා.

මෙහිදී අදහස් දැක්වූ නීතිඥ ලාල් විජේනායක,
මේ අර්බුදයේදී අපිට පේනවා අපිට විධායක ජනාධිපති ක්‍රමයෙන් තොර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියලා.

උදයන්ති මුණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon