ඒකාධිපති වියරුව අධිකරණ තීන්දු හමුවේ පරාජය වෙලා

  👤  2433 readers have read this article !
By mawbima 2018-12-05

පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිව ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කළ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව ලෙස ඊනියා ආණ්ඩුව වාර්තාගතවී ඇතැයි එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

අරලියගහ මන්දිරයේ ඊයේ (4දා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මේ සඳහන කළ සජිත් ප්‍රේමදාස මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

"ඔක්තෝබර් 26දා සිට අද දක්වා සිදුවූ සියලු ක්‍රියාදාමයන් දෙස බලන විට ආඥාදායක ඒකාධිපති බලවේගයක් ක්‍රියාත්මක වන බව කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා වටහාගෙන තිබෙනවා. ඒ සියලුම ඒකාධිපති ක්‍රියාදාමයන් අධිකරණය හරහා ව්‍යර්ථ කරන්න අප ගත් පියවර ජයග්‍රහණය කරන්නට අපට හැකිවී තිබෙනවා. ඉදිරියටත් අප ව්‍යවස්ථානුකූලව අධිකරණය හරහා මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමට පියවර ගෙන තිබෙනවා. මේ සියලුම ක්‍රියාදාමයන් පාර්ලිමේන්තුව තුළ අභියෝගයකට ලක් කරන එම ප්‍රතිවාදීන් එම අභියෝගයන්ට මුහුණ නොදී ඒකාධිපති වියරුවෙන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් ජාතික සම්පත් දේපළ විනාශ කළා. ඊට පසු ප්‍රථම වතාවට ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කළේ බහුතරයක් සකසා ගන්න නොහැකිවීම නිසයි.

අධිකරණ තීන්දු නිසා ප්‍රතිවාදීන්ගේ ආඥාදායක ඒකාධිපති වියරුව පරාජය කිරීමට හැකිවීම ජනතා පරමාධිපත්‍ය ස්ථාපිත කිරීම සඳහා ජනතාව ලද ජයග්‍රහණයක්. නීත්‍යනුකූල නොවන ඊනියා ව්‍යවස්ථා විරෝධී පාලකයන් ලක්ෂ 220ක්වූ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙනවා. ලබන වසරේ පාසල් යන දරු දැරියන්ට පාසල් නිල ඇඳුම් හෝ වවුචර අහිමිකර තිබෙනවා. අපේ ආණ්ඩුව ජනතාවට ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදා දීමටත් උදා ගම්මාන 2500ක් මේ වසරේ ඉදිකිරීමටත් කටයුතු යොදා තිබෙනවා. ඒවා සියල්ල අත්හිටුවා එම මුදල් ආපසු භාණ්ඩාගාරයට යවා තිබෙනවා. ඒ හෙලිකොප්ටර්වලින් යන ගමන් බිමන්වල බිල්පත් පියවන්නට, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ගම්පෙරළිය මාර්ග සංවර්ධන කටයුතු ආයෝජන සියල්ලම මේ වනවිට ඇනහිට තිබෙනවා. අද රට තුළ විශාල වශයෙන් ඔෟෂධ හිඟයක් ඇතිවී තිබෙනවා.

අද වන විට අපේ රට ආර්ථික, දේශපාලන හා සමාජමය වශයෙන් අස්ථාවර රටක් බවට පත්වෙලා. මේ නිසා අපි මේ රටේ ආඥාදායක ඒකාධිපති බලවේගවලට නැවතීමේ තිත තබා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෑත කාලයේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ අගමැති හා කැබිනට් ඇමැතිවරු තනතුරු හෙබවීමට නුසුදුසු බවට පත්කර ඔවුන්ගේ කටයුතු අත්හිටුවීම ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ ජයග්‍රහණයක්. මේ අවස්ථාවේ අපේ ඉල්ලීම වන්නේ ව්‍යවස්ථාව සමඟ කරන මේ සෙල්ලම නතර කර උත්තරීතර නීතියට අදාළ වටිනාකම ලබා දෙන්න කියලයි.

රාජිත සේනාරත්න මහතා
අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමට ජනාධිපතිවරයාට බලය ඇතත් ඔවුන් පාලනය කිරීමට හෝ ඔවුන්ට බලපෑම් කිරීමට ඔහුට ව්‍යවස්ථානුකූල බලයක් නැහැ. ජනාධිපතිවරයාට තිබූ විධායක බලය ඉවත් කර එය අගමැතිවරයාට ලබාදී තියෙනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලයට අහෝසි වන විට ලේකම්වරුන්ගේ බලතලද අහෝසි වෙනවා.

මේ වන විට රට පුරා බරපතළ ඔෟෂධ හිඟයක් නිර්මාණය වී තිබෙනවා. මහනුවර මහ රෝහලේ පිළිකා ඔෟෂධ රුපියල් ලක්ෂ ගණනක් මිල වන පිළිකා ඔෟෂධ මිලට ගැනීමට පිළිකා රෝගීන්ට හැකියාවක් නෑ.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon