ඉන්දියන් කම්කරුවන්ගෙන් පඩි නොදී වැඩ අරගෙන

  👤  2394 readers have read this article !
By mawbima 2018-12-05

දඹුල්ල - කේ.කේ. ආරියදාස

ආහාරපාන සහ මාස තුනක වැටුප් නොලැබීම නිසා ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා සිටින කම්කරුවෝ තිස් දෙනකු පමණ තමන් ඉන්දියාවට පිටත් කරහරින ලෙස ඉල්ලා ඊයේ (04දා) දහවල් ගලේවෙල පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

මෙම ඉන්දියානු කම්කරුවන් ගලේවෙල කොස්පොත ප්‍රදේශයේ නිවෙසක රැඳී සිටිමින් අධිබලැති විදුලි රැහැන් සවි කරන පෞද්ගලික ආයතනයක සේවය කරන බවත් ඔවුන්ට මූලික අවශ්‍යතාවන් නොමැතිව සිය ගමන් බලපත්‍ර, වීසා බලපත්‍ර කිසිවක් නොමැතිව සිටින බවත් පසුගියදා ජනමාධ්‍ය මඟින් හෙළිදරව් කෙරිණි.

ඒ අනුව පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමේ පිරිස මෙම කණ්ඩායම කඩිනමින් වැටුප් ලබාදී ඉන්දියාවට යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවට පොරොන්දු වී තිබුණද ඊයේ (04දා) වනතුරුත් එය ක්‍රියාත්මක නොවීම නිසා ඔවුහු මෙයාකාරයෙන් පොලිසියට පැමිණ සිටියහ.

මෙසේ පැමිණ සිටි ඉන්දියානුවන් කියා සිටියේ පැය කිහිපයක් පොලිස් ස්ථානයේ රැඳී සිටියදී සේවයට පැමිණි පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයකු පැමිණ හෙට දිනය ඇතුළත මෙම කම්කරුවන් තිස්දෙනා නැවත සිය රටට පිටත් කර යැවීමටත් ඔවුන්ගේ මාස තුනක හිඟ වැටුප් ලබාදීමටත් පොරොන්දු වූ බවය.

තමන් රැකියාවට රැගෙන ආ කොන්ත්‍රාත් සමාගම තමන්ට ආහාරපාන ලබානොදී වැටුප් ලබා නොදී තමන් සතුව ඇති ගමන් බලපත්‍ර, වීසා බලපත්‍ර සියල්ල සඟවා ගෙන සිටියදී ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ට ආහාරපාන ලබා දෙමින් සංග්‍රහ කළ බවත් එයට ශ්‍රී ලාංකික ජනතාවට ගෞරව කරන බවද ඉන්දියානු ජාතික කම්කරුවෝ පවසති.

පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයන්ගේ ඉල්ලීම අනුව ඔවුන් පොලිසියෙන් නික්ම නැවතත් ගලේවෙල ප්‍රධාන බස් නැවතුම්පළට පැමිණ බස් රථයකින් ඔවුන් නැවතී සිටි ගලේවෙල කොස්පොත ප්‍රදේශයේ නිවෙසට යෑමට සූදානම් විය.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ලංකාවේ ජනමාධ්‍යවේදීන් නොසිටින්නට තවදුරටත් වැටුප් ආහාර, ජලය නොමැතිව තමන්ගෙන් වැඩ ගන්නා බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon