දෙවැනි රාජසිංහ සමයේ කඩයිම් පොත ඉංග්‍රීසීන් අතුරුදන් කරලා

  👤  2442 readers have read this article !
By mawbima 2018-12-05

ඉනාමළුවේ -

තිලක විජයසූරිය

මහනුවර යුගයේ දෙවැනි රජ සමයේ (1629 - 1687) ඉනාමළුව කෝරලේ සීමා මායිම් දක්වමින් ලියා තැබූ 'කඩයිම් පොත' ඉංග්‍රීසි ආණ්ඩුව සමයේ අස්ථානගත වී යෑමෙන් ඓතිහාසික තොරතුරු රැසක් වැළලී ගොස් ඇත.
දෙවැනි රාජසිංහ රජු මහනුවර රාජධානියේ සීමා මායිම් තමන්කඩුව කඳුවැටිය (මින්නේරිය) දක්වා පුළුල්කර ගත් බවත් එහිදී එම කඩයිම් පුස්කොළ පොතක ලියා තබා ඇති බවත් ඉංග්‍රීසි ආණ්ඩුව සමයේ ඉනාමළුව කෝරාල එම කඩයිම් පොත ආණ්ඩුවට භාර දීමෙන් පසු එම කඩයිම් පොත අස්ථානගත වී ඇතැයි පවසයි.

එම කඩයිම් පොත ඉනාමළුව කෝරාලට භාරදීමට රැගෙන යෑමේදී තම ගම් ප්‍රදේශය ගැන තොරතුරු දැක ඉන් පුස්කොළ කිහිපයක් කණ්ඩලම ගමේ 'තේන ආරච්චි' විසින් ගලවාගෙන ඇති බවත් එම පුස්කොළ කිහිපයේ තිබී ඉපැරැණි අප්පලා හීන්න, ගෙදරගාව හීන්න, බුබුලේගම, කොග්ගල කන්ද, ගිරිකණ්ඩවාපි වැව, කුරුල්ලන්ගල යන සීමාවන් හා ඉපැරැණි මින්නේරියට (තමන්කඩුව) ගමන් ගත් මාර්ගයේ පිහිටි කපොලු මුර කිරීමේ රාජකාරියේ යෙදී සිටි කෝඳුරුවා වැද්දා, නයිරන් වැද්දා, මකරයා වැද්දා, රුකා වැද්දා ගැන තොරතුරු රැසක් අඩංගු වී ඇති බැව් ඇරැවුල මුහන්දිරම් ගෙදර විමලසූරිය මහතා අනාවරණය කරයි.

මහනුවර යුගයේදී ගම්කොටු විකිණීමේ ගනුදෙනු සිදුවූ බැව් සඳහන් සීගිරිය (වර්ෂ 1720) කුඹුක්කඳන්වල (වර්ෂ 1703) පන්නම්පිටිය (වර්ෂ 1535) මකරයාවල (වර්ෂ 1770) රිදී ඇල්ල යන ඉපැරැණි තල්පත් (ගම් සීට්ටු) තවමත් පවතින බවත් එම තල්පත්වල අඩංගු 'ගම් මායිම්' හා 'දුටු සාක්‍ෂි' මඟින් ඓතිහාසික කරුණු රැසක් හෙළිදරව් වන බැවින් එම තල්පත් ආරක්ෂා කර ගැනීමට මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයාගේ අවධානය යොමුවිය යුතු බැව් පර්යේෂකයෝ පෙන්වා දෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon