ලංවිම සේවකයන් 25,000ක් සිටියදී වැඩ කොන්ත්‍රාත්කරුවන්ට දෙන්න එපා

  👤  2403 readers have read this article !
By mawbima 2018-12-05

බද්දේගම - ඕ. කමලනාථ

ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථීර සේවකයන් 25,000ක් පමණ සිටියදී කාර්මික සේවකයන් ඉටු කරන කාර්යයන් පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට නොදෙන්නැයි ලංකා විදුලි පොදු සේවක සංගමය විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

ලංකා විදුලි පොදු සේවක සංගමය ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයාට 2018.12.03 දාතමින් ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථීර සේවකයන් විසි පන්දහසක් පමණ සිටින බවත් පුහුණු වෙමින් සිටින සේවකයන්ද විශාල පිරිසක් සිටියදී ලංවිම පාලකයන් විසින් පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ගෙන් එම සේවා ලබා ගැනීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් කොන්ත්‍රාත්කරුවන් විසින් කරන කාර්යයන්ගේ ප්‍රමිතිය පිළිබඳව ගැටලු ඇති බවත් කොන්ත්‍රාත්කරුවන් විසින් සිදු කරන කාර්යන්වල පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීමට සිදුවන්නේද ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට බවත් එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රමිතිය පිළිබඳ ගැටලු ඇති වූ අවස්ථාවක් ලෙස රත්නපුර ප්‍රදේශයේ විදුලි කණු භාගෙට සිටුවීමේ සිද්ධියක් එම ලිපියෙන් ඉදිරිපත් කර ඇත. මෙවැනි තත්ත්වයන් නිසා ලංවීම පාරිභෝගිකයන්ට උසස් සේවයක් ලබා ගැනීමට ඇති අවස්ථාවද අහිමි වී ඇති බවත් ලංවිම සතු
පළපුරුදු දක්ෂ සේවකයන්ට පහසුවෙන් කළ හැකි කාර්යයන් පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට ලබාදී ලංවිම සේවකයන් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත සීමා කර ඇතැයි ද එම ලිපියෙන් පෙන්වා දෙයි.

පෞද්ගලික අංශයට කොන්ත්‍රාත් ලබා නොදී ලංවිම සේවකයන් සඳහා සාධාරණයක් ඉටු කරන ලෙසත් ලංකා විදුලි පොදු සේවක සංගමයේ ලේකම් එච්.එම්.කේ. බොතේජු මහතාගේ අස්සනින් ලංවිම සාමාන්‍යාධිකාරිවරයා වෙත යැවූ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon