නිවෙසක් නොමැතිව දුක් විඳින පවුලකට දුක්මුසු ඉරණමක්

  👤  2398 readers have read this article !
By mawbima 2018-12-05

නිශාන්ත රණබාහු

බොහෝමයක් මිනිසුන් ජීවත්වන්නේ තම සිත්සතන් තුළ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙනය. ඔවුන් තම දවස ගෙවන්නේ එම සිහින ඉෂ්ටකර ගැනීමේ අදිටනිනි. නමුත් යම් දිනෙක එම බලාපොරොත්තු සුනුවිසුනු කරවන කුණාටු පැමිණෙන්නේ ඔවුන් සිහිනෙකින්වත් නොසිතන අන්දමිනි. එහෙත් එම කුණාටු ඉදිරියේ තම සිහින වියැකී යනවා බලා ඉන්නට කිසිවකු කැමැති වන්නේ නැත. යමෙක් එසේ සිටින්නේ නම් ඒ ඔහුගේ අසරණකමටය.

එලෙස අසරණ වූ පුද්ගලයකු පසුගියදා අපට හමුවූයේ හැඳල වත්තල ප්‍රදේශයෙනි. නමින් ජේ.ඒ. නිශාන්ත සුමිරුවන්. ඔහු දිගුකලක් තිස්සේ දරුණු ස්නායු රෝගයකින් පෙළෙන එක් දරු පියෙකි. දුෂ්කර ගම්මානයක, හරිහමන් නිවෙසක් නොමැතිව ඉතා අපහසුවෙන් ජීවිකාව පවත්වාගෙන යන එම කුඩා පවුලට අද මුහුණදීමට සිදුවී ඇත්තේ දුක්මුසු ඉරණමකටය.

එසේ වූයේ නිශාන්ත ස්නායු රෝගයට ගොදුරු වීමත් සමඟය. රෝගී තත්ත්වයට පත්වීමට පෙර ඔහු රැකියාව කළේ ලංගම සේවයේය. නමුත් ඔහුට දිගු කලක් එම රැකියාවේ නිරත වීමට හැකියාව ලැබුණේ නැත. හදිසියේ මුහුණ දෙන්නට සිදුවූ ස්නායු රෝගය හේතුවෙන් ඔහුට එම රැකියාව අහිමි විය. ඔහු දැනට රත්මලාන, හෝමියෝපති පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මාස්පතා ප්‍රතිකාර ලබන අතර මසකට රු. 15,000ක පමණ මුදලක් ඒ සඳහා වැය වන බව පවසයි.

ඔහුගේ බිරිය වූ නෙල්කා මහත්මිය කුලී වැඩ කරමින් ස්නායු රෝගයෙන් පෙළෙන සැමියාත්, දරුවාත් පෝෂණය කරන්නීය.

නිශාන්ත මහතාගේ පුත් දුලාර මධුවන්ත විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර මෙවර (අපොස) සා.පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය. ඔහු අධ්‍යාපනයට දක්ෂ දරුවකු වුවද ඒ සඳහා අවශ්‍ය කරන මුදල් සොයා ගැනීමට නිශාන්ත මහතාට අපහසුය. නො. 100/09 හැඳල වත්තල පදිංචි නිශාන්ත මහතා හඬා වැටෙමින් මෙසේ කීය.

"ආදරය කරලා අපි විවාහ වුණත් ඉන්න හිටින්න හරිහමන් නිවෙසක් එදා ඉඳන් අපිට තිබුණේ නැහැ. ඒ වෙනකොට මම ලංගම සේවයේ රැකියාවක නිරත වුණත් නොසිතූ මොහොතක ස්නායු රෝගයට ගොදුරු වීමත් සමඟ මට රැකියාව අහිමි වුණා. ස්නායු රෝගය සුවකර ගැනීමට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ප්‍රතිකාර කළා. ඒත් හරි සුවයක් ලැබුණේ නෑ. දැනට හේමියෝපති පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබනවා. ඒ සඳහා මට මාස්පතා රු. 15,000ක පමණ මුදලක් වැය වෙනවා. මේ තරම් මුදලක් සොයාගැනීම මට අපහසුයි. බිරිය කරන රැකියාවෙන් තමයි පවුලම ජීවත්වෙන්නේ.

කන්නේ, බොන්නේ, දරුවාගේ අධ්‍යාපන කටයුතු සහ මාගේ ප්‍රතිකාර සඳහා යොදවන්නේ ඇය උපයන සුළු මුදලයි. නමුත් ඒ මුදල ප්‍රමාණවත් නෑ. ඇතැම් දිනවල එදාවේල පිරිමහගන්නෙත් බොහෝ අසීරුවෙන්. මගේ එකම හීනය මගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා දකින්නයි. එයාට අතහිත දෙන්න අවශ්‍ය වියදම සොයා දෙන්න බැරි තරමට මම අද අසරණ වෙලයි ඉන්නේ. ඒ සඳහා කාටහරි පුළුවන්කමක් තිබේ නම් අපට පිළිසරණක් වෙන්න කියා ඉල්ලනවා.
මේ අසරණ පවුලට කාගේ හෝ සහයෝගයක් ලබාදෙන්නේ නම් එය මහත් පින්කමකි.

ඔවුන්ගේ ලිපිනය ජේ.ඒ. නිශාන්ත සුමිරුවන් 100/09, තිඹිරිගස්යාය, හරස් පාර, හැඳල වත්තල. දුරකථන අංකය 072 3867972 මහජන බැංකුවේ, වත්තල ශාඛාවේ 222200236858563 අංකයට පරිත්‍යාගශීලීන්ට මුදල් බැර කළ හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon