අපේක්‍ෂා රෝහලට එන රෝගීන්ට නවාතැන් ගැනීම සඳහා නිවෙසකට මුල්ගල්

  👤  2417 readers have read this article !
By mawbima 2018-12-05

බොරලැස්ගමුව - නිඳුවර අබේසිංහ

"මීට වසර තුනකට පමණ ඉහත දී මා කොළඹ පැවැති නත්තල් උත්සවයකට සහභාගි වූ අවස්ථාවකදී පිළිකා රෝගයෙන් දුක්විඳින ළමයින් පිරිසක් මට මුණ ගැසුණා. අත දරුවන් පවා සිටියා. ඒ අය දැක්කාම මට විශාල දුකක් දැනුණා. ඒ පොඩි ළමයින්ට බෙහෙත් වර්ග හා එන්නත් ලබා දීමට ශරීරයට කුඩා බට කිහිපයක් හා එන්නත් කටුවක් යොදා තිබුණා. වැඩිහිටි මටත් ඔබලාටත් දරාගන්න බැරි තරම් වේදනා සහිත තත්ත්වයක් එම පුංචි දරුවන්ට ඇති බව මට වැටහුණා. ඒ කුඩා ළමයින්ට ඒවා දරාගන්න අමාරු බවත් මට සිතුණා" යැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවැසූහ.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් එසේ පැවැසුවේ මහරගම දෙහිවල පාරේ ඇඹිල්ලවත්ත මංසන්ධියට යාබදව පිහිටි ඉඩමක මහරගම අපේක්‍ෂා රෝහලට පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් හට නොමිලේ නවාතැන් පහසුකම් ලබාදීම සඳහා කොළඹ අගරදගුරු පදවියේ සහයෝගිතාව ඇතිව අලුතින් ඉදිකරන ගොඩනැඟිල්ලක් සඳහා මුල්ගල තැබීමට පැමිණි අවස්ථාවේදීය.

එම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු හිමිපාණන් වහන්සේ පැවැසුවේ, "ඒ අවස්ථාවේ මම ඇහුවාම මොනවද අපෙන් කෙරෙන්න ඕන කියලා ඒ මවුපියන් කිව්වා ළමයින්ට බෙහෙත් විදින්න මහරගම අපේක්‍ෂා රෝහලට අපි එන්නේ ඉතාම දුර බැහැර ඉඳලා. ඒ ආවාම සමහර අවස්ථාවල බෙහෙත් විදින්න සතියක් දෙකක් පමණ මහරගම ඉන්න වෙනවා. එවිට අපිට ඉන්න තැනක් නෑ. කුලී කාමරයක ඉන්න ලොකු වියදමක් යනවා. ගෙවන්න මුදල් සොයාගන්නේ හරිම අමාරුවෙන් කියලා. ඒ අය ඉතාම දුක්මුසුව පැවැසුවා.

ඒ අනුව මට අදහසක් ආවා මහරගම ප්‍රදේශයේ ඔවුන් ඒ විදියට ආවාම නවාතැන් පහසුකම් සඳහා නිවෙසක් තනාදිය යුතුයි කියලා. සෑහෙන මහන්සියක් වෙලා මහරගම මීසම් පාලක ජූඩ් නිකලස් පියතුමා සමඟ එකතුව මේ ඉඩම සොයාගෙන ගොඩනැඟිල්ල හදන්න අද මුල්ගල තිබ්බා. ඉඩම ලබා ගැනීමට සෑහෙන පිරිසක් මූල්‍ය දායකත්වය හා උදවු උපකාර කළා. ඒ අනුව මෙම ස්ථානයේ ඒ අයට නැවතීමට සියලු පහසුකම් සහිත තෙමහල් ගොඩනැඟිල්ලක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා."

මේ අවස්ථාවට මහරගම ශාන්ත මරියා දේවස්ථානයේ මීසම් පාලක ජූඩ් නිකලස් සහ ජූඩ් සමන්ත පියවරුන් ඇතුළු කතෝලික පියවරුන්ද මහරගම කාමේල් කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් සහ මහරගම මීසම් හා අවට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon