රෝගී දරුවාගේ අනාගතය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන යුවළක්

  👤  2423 readers have read this article !
By mawbima 2018-12-05

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

මේ වන විට 39 වතාවක් උණ සමඟ "ෆිට්" රෝගී තත්ත්වය සෑදී අද වන විට "ඔටිසම්" රෝගී තත්ත්වයෙන් ද පෙළෙන වයස අවුරුදු අටක දරුවකු සිටින පවුලක අනෙක් කුඩා දරුවා ද මේ වන විට "ෆිට්" රෝගී තත්ත්වයෙන් පෙළීම නිසා ප්‍රතිකාර ලබමින් පසුවෙයි. එසේ හෙයින් මේ වැඩිමහල් දරුවාගේ අනාගතය වෙනුවෙන් දිවා රාත්‍රි වෙහෙසන කෑගල්ල පරගම්මන පදිංචි මවකගේ සහ පියකුගේ කඳුළු කතාව සොයා අප එම නිවෙසට ගොඩ වූයේ මේ අහිංසක දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔබටද උපකාරයක් වීමට හැකි නම් එය මිනිසුන් වශයෙන් ඔබට කළ හැකි මහත් පුණ්‍ය කටයුත්තක් හෙයිනි.

කෑගල්ල පරගම්මන, උඩපාරේ පදිංචි වයස අවුරුදු 38ක් වන බී.ඒ.ඩී.යූ. බාලසූරිය සහ වයස අවුරුදු 39ක් වන එච්.ආර්. ජනක කුමාර යන දෙදෙනාගේ විවාහයෙන් පසුව පිරිමි දරුවන් තිදෙනකු ඉපදී ඇත. එම දරුවන්ගේ වැඩිමහල් දරුවා වන දැනට රෝගී තත්ත්වයකින් පෙළෙන චනුද් ධනංජය දරුවා ඉපදී ඇත්තේ 2010 ඔක්තෝබර් 09 වැනි දිනයි. මෙම මවට සහ පියාට ඉපදුණු දෙවැනි දරුවා කුඩා කාලයේදීම මියගොස් ඇති අතර තෙවැනි දරුවාද දැනට වැඩිමහල් පුතණුවන්ගේ පවතින රෝගී තත්ත්වයෙන් පෙළෙන මුත් වැඩිමහල් දරුවා තරම්ම රෝගී තත්ත්වය දරුණු මට්ටමක නොපවතී.

නමුත් එම මවුපියන් දරුවාගේ වෛද්‍ය පරීක්‍ෂණ සටහන් අපට පෙන්වමින් පවසන්නේ එම දරුවාට රෝගී තත්ත්වයක් ඇති බවයි. පළමු දරුවාගේ වෛද්‍ය පරීක්‍ෂණවල කිසිදු ගැටලු සහගත තත්ත්වයක් පෙන්නුම් නොකරන නමුත් අද වන විට එම දරුවා මවුපියන්ට පාලනය කර ගත හැකි මට්ටමක නොමැත.

එම දරුවා නිවෙසේ පුටු මේස මත මෙන්ම නිවෙසේ එළිමහනේ ඇති බැම්ම මත උඩ මෙන්ම වහලයේ කාලය ගත කරන්නට වැඩි කැමැත්තක් ඇති අතර දරුවා එවැනි අවදානමක් ඇති ස්ථානවල සිටියත් දරුවා විසින්ම එම ස්ථානවල ආරක්‍ෂිතව සිටින බව මවුපියෝ කියති. තම මවුපියන් කවුරුන්ද යන්න දරුවා නොහඳුනන අතර දරුවාට කථන හැකියාවක් ද නොමැත. එක කනක ශ්‍රවණ ආබාධිත තත්ත්වයක් මෙන්ම එක් ඇසක දෘශ්‍යාබාධිත තත්ත්වයක් ද ඇති බව ද මවුපියන් සිය දරුවා ගැන ඇඬ­ූ කඳුළින්ම පවසති.

දරුවාගේ ආරක්‍ෂාව වෙනුවෙන් නිවෙස වටා දැල් වැටක් සවි කර ගේට්ටු දමා තිබුණත් දරුවා විසින් බැම්මට නැඟී පසුව ඒවායින් පැන ගම්මානයට දිව යන අතර දරුවා ගැන අවබෝධයක් ඇති ගමේ අයගේ සහායෙන් දරුවා ආරක්‍ෂිතව අල්ලා දෙන බව පවසති. නිවෙසේ ඇතුළත සිටින දරුවා නිවෙසේ ඇති නාන කාමරයට ගියහොත් එහි සබන් පවා ආහාරයට ගන්නා බව ද පවසයි. දරුවාගේ මෙම රෝගී තත්ත්වය හමුවේ ඔහු වැඩිපුරම ආශාවක් දක්වන්නේ විවිධ භාණ්ඩ ඇසුරුම් කර ඇති කවර ලබා ගැනීමටයි. නිවෙසට ගෙනෙන කිරි පැකට් එක දරුවා දුටුවහොත් කිරි පැකට් එක කඩා එහි වූ කිරි බිමට හලා එම කවරය හා ලේබලය රැගෙන එය පොඩිකරමින් සිටීමටත් ටොෆී සහ පොලිතින් වැනි දෑ ගෙන ඒවා ශබ්ද කරමින් සිටීමට කැමැත්තක් දක්වන බවත් දරුවාගේ මව පවසයි.

මෙම රෝගී තත්ත්වය හේතුවෙන් රාත්‍රි කාලයේ පවා නිදි නොමැතිව නිවෙස ඇතුළත එහෙ මෙහේ දඟලමින් පුටු, මේස, ඇඳ වියන් හා ජනෙල් උඩ නඟිමින් දවස ගෙවන මෙම දරුවා වර්තමානයේ වෛද්‍ය උපදෙස් අනුව ඔෟෂධ ලබා දීමෙන් පසු රාත්‍රි නින්දට යැවෙයි.

"අන්තර්ජාලයෙන් මම ඔටිසම් සඳහා ප්‍රතිකාර ක්‍රම බැලුවා. එහිදී දැක්ක දෙයක් තමයි ඉන්දියාවේ ඔටිසම් සඳහා විශේෂ ප්‍රතිකාර මෙන්ම පාසල් තිබෙන බව. මාගේ එකම සිහිනය තමයි ඔටිසම් දරුවන් අතරින් මාගේ පුතා ඉස්සරහට යැවීමට අධ්‍යාපනයක් ලබා දීම. ඒ වෙනුවෙන් මම කැප වෙන්න කැමැතියි. මාගේ උත්සාහයත් දරුවා කොහොම හරි ඉන්දියාවේ ඔටිසම් පාසලට ඇතුළු කිරීමයි."
දරුවාගේ මව වන බී.ඒ.ඩී.යූ. බාලසූරිය මහත්මිය කීවාය.

මෙම මව සිය කතාව අවසානයේ අපෙන් තවත් ඉල්ලීමක් කළාය. ඒ රෝගී දරුවන් වෙනුවෙන් කෑගල්ල රෝහලේ වෛද්‍ය සායනයක් නොමැති හෙයින් ඒ සඳහා එහි ඒකකයක් ස්ථාපනය කර දෙන ලෙසය.
මේ දරුවා වෙනුවෙන් උදවු කිරීමට කැමැති අය 0713129746 අමතා විස්තර ලබා ගත හැකිය. ඔවුන්ගේ ලිපිනය බී.ඒ.ඩී.යූ. බාලසූරිය, එච්. 204, උඩපාර, පරගම්මන, කෑගල්ල

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon