දිගටම ආණ්ඩු බලයේ ඉන්නේ අපියි -නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ

  👤  2340 readers have read this article !
By mawbima 2018-11-21

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය තෙක් භාරකාර ආණ්ඩුව ලෙස කටයුතු සිදු කරන්නේද එම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කර රට යළි ගොඩනැඟීමේ කටයුතු සිදු කරන්නේද වත්මන් ආණ්ඩුව විසින්මයි. පසුගිය සමයේ සිටිය පාලකයන් මේ රටේ තරුණ තරුණියන්ට ස්ථීර රැකියා ලබා දෙන බවට පොරොන්දු වී රාජ්‍යායතනවලට දරාගත නොහැකි ලෙසින් දෛනික දීමනා යටතේ රැකියා ලබාදී ඔවුන් දේශපාලන වහලුන් බවට පත්කර ගත්තා.

පසුගිය කාලයේ දෛනික දීමනා නමින් අහිංසක තරුණ තරුණියන්ට ස්ථීර රැකියා ලබාදීමේ බලාපොරොත්තුව ඔවුන්ගේ මනසේ දල්වා ඔවුන් දේශපාලන කටයුතුවල වහලුන් බවට පත් ගත්තා. ඒ වහල් බවට ලක්වූ කිහිප දෙනකු ඊයේ දිනයේත් ඒ වහල් භූමිකාව සඳහා පිටව ගිය බව දැනගන්නට ලැබුණා. ඒ පිරිසට අප අනුකම්පා කරනවා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යම් යම් දේශපාලන වුවමනාවන් සඳහා භාවිත කරන තිප්පොළක් බවට පත් කර ගන්නට ඉඩ දෙන්නට බැහැ. මෙය රටට සේවා සපයන්නට තිබෙන ආයතනයක්. පසුගිය කාලයේදී සමහර දිස්ත්‍රික් කළමනාකරුවන් අසාධාරණ අයුරින් මාරු කිරීම, වැඩ තහනම් කිරීම්වලට ලක්වුණා.

මා මේ අමාත්‍යාංශයට නායකත්වය ලබා දෙන සමයේදී යූඑන්පී කෙනකු යැයි පැවැසුවත්, ඔහු වැඩ කළා නම් දේශපාලන කෝණයෙන් නොබලා අපට එකට වැඩ කරන්නට පුළුවන් වුණා. ඒ පට්ට යූඑන්පී පිරිස් එයට සාක්ෂි දරනවා ඇති කියා මා සිතනවා. ඔවුන්ගේ දේශපාලන අනන්‍යතාව අප එතැනදී බැලුවේ නැහැ. අප ඔවුන්ගෙන් බලාපොරොත්තු වූයේ අපගේ ඉලක්කයට අරමුණට යනවාද නැද්ද යන වග පමණයි.
අපගේ පාලන සමයේදී සේවක සුබසාධන පැතිකඩද අප උනන්දුවෙන් සොයා බැලුවා. සුබසාධන අරමුදලේ සිදුව තිබූ අකටයුතුකම් සොයා බලා එයට විරුද්ධව පියවර ගත්තා. ඒ අරමුදල ශක්තිමත් කිරීමට පියවර ගත්තා. මේ සෑම දෙයකින්ම මේ ආයතනයේ කීර්තිනාමය බබළවන්නට අප කටයුතු කළා. මුල් වකවානුවේදී මේ ආයතනයට සෙසු රාජ්‍ය ආයතන තුළ වටිනාකමක්, පිළිගැනීමක් තිබුණා නම් ඊට සමානව හෝ සමීප පිළිගැනීමක් හා ගෞරවයක් මේ ආයතනයට ලැබෙන ආකාරයෙන් අවශ්‍ය වැඩ කටයුතු කිරීමට අපට හැකි වුණා.

නමුත් රටේ ජනතාවට එදා වැඩි වෙනසක් අවශ්‍යව තිබූ බැවින් වෙනසක් සොයා ගියා. ඒ වෙනසේ ආදීනව අද බොහෝ දෙනකුට මේ වන විට තේරුම් ගොස් ඇතැයි මා සිතනවා. වෙනස සොයා ගිය පිරිසට දිට්ඨධම්මවේදනීය කර්මය පලදෙමින් පීඩාවට පත්ව තිබෙනවා. පසුගිය 26 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පැවැති ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වන්නට තීන්දු කළා. ඒ ඊනියා ජාතික ආණ්ඩුව අභාවයට යෑමත් සමඟ අමාත්‍ය මණ්ඩලය ස්වාභාවිකව විසුරුවා හැරීමකට ලක්වුණා. නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ව පත් කළා. ඉදිරි මහ මැතිවරණයේ භාරකාර ආණ්ඩුව ලෙස කටයුතු කරන්නේද, ඉදිරි මහ මැතිවරණයේදී බලය පිහිටුවන්නේද මේ ආණ්ඩුව බව මා අවධාරණයෙන් ප්‍රකාශ කරනවා.

හිටපු අමාත්‍යවරයා ඔබව දේශපාලන වහල්ලු ලෙසට යොදා ගෙන තිබෙනවා. ඔබට දෛනික දීමනාවක් සහිත රැකියාවක් ලබා දුන් පසු ඔබව ඕනෑම අවස්ථාවකදී කැඳවා ඕනෑම දෙයකට ගෙන්වා ගත හැකියි. මවුපියන්වත් ගෙන්වා ගැනීමට හැකියි. ඔබ ස්ථීර රැකියාවක් ලැබූ පසු ඔබව කිසි දෙයකට ගෙන්වා ගත නොහැකියි. පසුගිය කාලේ ස්ථීර රැකියා මා ලබා දුන්නද ඔවුන් කිසිවකු මාගේ වැඩ සඳහා පැමිණියේ නැහැ. නමුත් ඔවුන් සමඟ අපට ගැටුමක් නැහැ. ඔවුනුත් දෛනික කොන්ත්‍රාත් පදනමේ තබා ගත්තා නම් ඔවුනුත් පැමිණෙන්නට තිබුණා. එබැවින් කිසිවකු දේශපාලන වහලුන් බවට පත් කර ගන්නට අපට අවශ්‍ය වන්නේ නැහැ.
මේ ආයතනයට දරන්නට පුළුවන් ප්‍රමාණයක් තිබෙනවා. සමහර දිස්ත්‍රික් කාර්යාලවල සේවකයන්ට වාඩි වන්නට ඉඩක් නැහැ. සමහර දිස්ත්‍රික් කාර්යාලවල සේවකයන්ට සතියකට දින තුනක් හෝ හතරක් පැමිණෙන ලෙස දන්වා තිබෙනවා. පුටු ටික සංගීත පුටු තරගය සේ පවත්වාගෙන යන්නේ එලෙසයි.

අපගේ පාලන කාලයේදී රැකියා ලබා දුන්නේ ආයතනය නඟාසිටුවා එයට ඔරොත්තු දෙන්නට පුළුවන් තත්ත්වයකට ගෙන ඒමෙන් පසුවයි. මේ ආයතනය කඩා වැටෙන තත්ත්වයට පත්වන්නට නොදී සියලු දෙනා එකට එකතු වී ආයතනයේ වුවමනාව වෙනුවෙන් කටයුතු කරන්න.

පසුගිය කාලයේ තොරතුරු රැසක් අපට ලැබී තිබෙනවා. සමහර තොරතුරු විවෘතව කතා කරන්නට නොහැකියි. අප සියලු දෙනා ආයතනයේ කීර්ති නාමයත් රටේ ගෞරවයත් වෙනුවෙන් කැපවෙමු. අසාධාරණ මාරු කිරීම්වලට හා තාඩන පීඩනවලට ලක් වූ පිරිස් සඳහා ඒ සාධාරණය අප ඉටු කරනවා.

මෙම ආයතනය පසුගිය කාලයේ පාලනය කරනු ලැබුවේ ජාතික සේවක සංගමයයි. නිදහස් සේවක සංගමයට එකල තිබූ චෝදනාව අන්න ඒ භූමිකාව කරන්නට නොදීමයි. වෘත්තීය සමිති හා පාලන අධිකාරිය එකට එක්ව සමඟියෙන් අවබෝධයෙන් කටයුතු කළොත් ගැටුම් නැතිව ගමනක් යන්නට පුළුවන්. නිදහස් සේවක සංගමයට ඒ කාලයේ මේ ආයතනය පාලනය කරන්නට දුන්නා නම් මේ කාලේ වුණ දේ ඒ කාලෙත් සිදු වෙනවා. වෘත්තීය සමිති ගණනාවක් තිබෙනවා. ඒ වෘත්තීය සමිති සමඟ එක්ව කටයුතු කරන්නැයි මා පාලන අධිකාරියට දැනුම් දුන්නා. ඔබගේ අදහස් සැලකිල්ලට ගෙන ලබා දිය හැකි සහයෝගය ලබා දෙනවා. ජාතික සේවක සංගමයට අපගේ කාලයේ තාඩන පීඩන එල්ල කළේ නැහැ. නමුත් නිදහස් සේවක සංගමයට පසුගිය කාලයේ තාඩන පීඩන රැසක් එල්ල වුණා. එම අඩුපාඩු නිවැරැදි කර ගනිමින් කටයුතු කරන්නට අප බලාපොරොත්තු වෙන
වා.

සටහන - උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon