ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ දියාරු පරිපාලනය නිසා ජල ක්‍රීඩා සංගමයේ වැඩ කටයුතු අවුලෙන් අවුලට

  👤  1972 readers have read this article !
By mawbima 2018-11-21

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලවරණය පැවැත්වෙන තෙක් එම සංගමයේ ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා සිවු දෙනකුගෙන් යුත් අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පියවර ගෙන තිබුණද මේ වනතෙක් එය ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් අසමත් වී ඇතැයි "මව්බිම"ට වාර්තා වේ.

ජල ක්‍රීඩා සංගමයේ වත්මන් සභාපති මහින්ද ලියනගේ මහතා ඉදිරි නිලවරණයේ සභාපති තනතුරට තරග කිරීම සම්බන්ධයෙන් නොයෙකුත් විරෝධතා මතුව තිබීම හේතුවෙන් මේ සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද නිලවරණ කමිටුව මඟින් ජල ක්‍රීඩා සංගමයේ කිසිදු තනතුරකට අදාළව නාම යෝජනා ඉදිරිපත් කිරීමට හෝ පත්වීමට මහින්ද ලියනගේ මහතා සුදුසුකම් නොලබන බවට ලබා දුන් නිර්දේශය මෙයට මාසයකට පමණ පෙර ක්‍රීඩා අමාත්‍යවරයා අනුමත කර ඇතැයිද පැවැසේ.

ඒ අනුව මහින්ද ලියනගේ මහතා ඉදිරි නිලවරණය සඳහා සුදුසුකම් නොලබන බැවින් ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන මෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂයක් (ඹ්ඥබබඥප ඩඥචඤ) යටතේ පසුගිය ඔක්තෝබර් 31 වැනිදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් බුවනෙක හේරත් මහතා වෙනුවට වෙනත් කෙනකුගේ අස්සනින් යුතුව ජල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයාට යැවීම සඳහා සකස් කරන ලද ලිපිය මේ වනවිටත් ජල ක්‍රීඩා සංගමයේ වත්මන් සභාපතිවරයාට ලැබී නැතැයි දැනගන්නට ඇත.

තවද මෙම ලිපියෙහි පිටපත් පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා නිලවරණ කමිටුවේ සභාපතිවරයාට යැවීමටද පියවර ගෙන තිබිණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජල ක්‍රීඩා සංගමයේ වත්මන් සභාපති මහින්ද ලියනගේ මහතාගෙන් "මව්බිම" කළ විමසීමකදී ඔහු පැවැසුවේ මෙවැන්නකි.

"මට තවමත් ඔය කියන ආකාරයේ ලිපියක් ලැබුණෙවත් මේ දක්වා දැනුම් දීමක්වත් කළේ නැහැ. ලබන වසරේදී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක-ක්‍රීඩිකාවන් පිළිබඳව පසුගිය සිකුරාදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී තිබුණු දැනුවත් කිරීමේ හමුවටත් මම සහභාගි වුණා." යැයි පැවැසූ මහින්ද මහතා තමන් නිවැරැදි හා පිරිසුදු චේතනාවෙන් මෙම රාජකාරිය සිදුකරන බවත්, ඉදිරියේදීත් ඕනෑම අවස්ථාවකදී එම සහයෝගය ලබාදීමට සූදානම් බවද සඳහන් කළේය.

මේ අතර ඔක්තෝබර් 31 වැනිදා සකස් කළ ලිපිය ජල ක්‍රීඩා සංගමය වෙත යැවීම ප්‍රමාද වී ඇත්තේ පත් කිරීමට යෝජිතව ඇති අතුරු කමිටුවේ නම් කිහිපයක් සම්බන්ධයෙන් පවතින ගැටලු සහගත තත්ත්වයක් නිසා බවද පැවැසේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon