වංචනික ලෙස වර්ණිත රැලි සෙවිලි තහඩු අලෙවි කළැයි ලක්ෂ 50ක් වන්දි ඉල්ලා පැවැරූ නඩුව ලබන වසරට කල් යයි

  👤  2032 readers have read this article !
By mawbima 2018-11-21

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය ඇති බව පවසමින් වංචනික ලෙස වර්ණිත රැලි සෙවිලි තහඩු අලෙවි කළ බවට චෝදනා කරමින් එම සෙවිලි තහඩු නිෂ්පාදන සමාගමකට එරෙහි එම සමාගමෙන් රුපියල් ලක්ෂ පනහක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ව්‍යාපාරිකයකු අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පැවැරූ නඩුවක් සලකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහෙස්ත්‍රාත් චමරී ධනන්සූරිය මෙනෙවිය මෙම නඩුව 2009 මැයි මස 3 වැනි දින විභාගයට ගැනීමට නියෝග කළාය.

අනුරාධපුර දෙවැනි පියවර ගොඩගේ මාවත බී.කේ. අනුර ඩයස් මහතා ජේ‍යෂ්ඨ නීතිඥ නිමල් මාරසිංහ මහතා සමඟ අනුරාධපුර දිසා අධිකරණයට හමුවේ පවරා ඇති නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව දිසා විනිසුරු ධනන්සූරිය මෙනෙවිය මෙසේ නියෝග කරනු ලැබුවාය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස කෙළඹ 9 පිහිටි එම ආයතනය සහ එම ආයතනයේ අනුරාධපුර අලෙවි නියෝජිතවරයා නම් කරනු ලැබ සිටිති.
පැමිණිලිකාර අනුර ඩයස් මහතා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජේ‍යෂ්ඨ නීතිඥ නිමල් මාරසිංහ මහතා සඳහන් කළේ පැමිණිලිකරු අලුතින් ඉදිකළ නිවෙසේ වහලය සෙවිලි කිරීම සඳහා විත්තිකාර සමාගම නිෂ්පාදිත වර්ණිත රැලි සෙවිලි තහඩු එම ආයතනයේ අනුරාධපුර අලෙවි නියෝජිතවරයාගෙන් මිලදී ගත් බවයි.

අදාළ වර්ණිත රැලි සෙවිලි තහඩු වහලයට සෙවිලි කර මාස කිහිපයක් ගත වන විට එම සෙවිලි තහඩු විශාල ප්‍රමාණයක් ඉරි තැළුණු බවත් මුළු වහලයෙන් සියයට හැත්තෑ පහක් පමණ තහඩු පිම්බී උඩට නෙරා ගිය බවත් අධිකරණයට දැනුම් දුන් නීතිඥවරයා පසුව මේ පිළිබඳව අදාළ වර්ණිත රැලි සෙවිලි තහඩු නිෂ්පාදන සමාගමේ සභාපතිවරයාට ලිඛිතව දන්වා යැවූ බවත් ඉන් පසුව එම සමාගමේ නිලධාරින් කිහිපදෙනකු පැමිණ නිවෙසේ වහලය පරීක්ෂා කර බැලූ බවත් කීවේය.

වර්ණිත රැලි සෙවිලි තහඩු පිපිරීමට හේතුව ඔවුන්ගේ භාණ්ඩ නිෂ්පාදනයේ අඩුපාඩුවක් බවට විත්තිකාර සමාගමේ නිලධාරීන් එහිදී පිළිගත් බවද, අධිකරණයට දැනුම් දුන් ජේ‍යෂ්ඨ නීතිඥ නිමල් මාරසිංහ මහතා මෙම තත්ත්වය නිසා පැමිණිලිකරු සහ පවුලේ සාමාජිකයන් දැඩි අපහසුතාවකට පත් වූ බවත් පසුව තාවකාලික පදිංචිය සඳහා රුපියල් පනස් දහසක මාසික කුලියට නිවෙසක් ගැනීමට පැමිණිලිකරුට සිදුවූ බවද කීවේය.
විත්තිකාර සමාගම විසින් නැවත එකී වර්ගයේම වර්ණිත රැලි සෙවිලි තහඩු ලබාදිය හැකි බවත් ඒවා වහලයට සවි කරන ලෙසත් පැමිණිලිකරුට දැනුම් දුන් බවද, අධිකරණයට කියා සිටි නීතිඥවරයා එම වර්ණිත රැලි සෙවිලි තහඩු සුදුසු ප්‍රමිතියෙන් තොර ඒවා බවට පැමිණිලිකරු දෙවරක්ම අවබෝධ කරගෙන තිබූ බැවින් නැවත එම වර්ගයේම වර්ණිත රැලි තහඩු සෙවිලි කිරීමට පැමිණිලිකරු අකැමැති වූ බවත් පැවැසීය.
තමාට සිදුවූ අපහසුතාව සහ නිවෙසට සිදුවූ විනාශය හේතුවෙන් වන්දි මුදලක් ලබා දෙන ලෙසත් තත්ත්වයෙන් බාල ඉහත කී වර්ණිත රැලි සෙවිලි තහඩු තවදුරටත් තම වහලයට යෙදීමට පැමිණිලිකරු සූදානම් නැති බවත් ප්‍රකාශ කළද එම සෙවිලි තහඩුම යොදන ලෙස විත්තිකරුවන් දිගින් දිගටම පැමිණිලිකරුගෙන් ඉල්ලා ඇති බවද නීතිඥවරයා සඳහන් කළේය.

පසුව මේ පිළිබඳව පැමිණිලිකරු අනුරාධපුර පොලිසියට පැමිණිලි දෙකක් ඉදිරිපත් කළ බවත් එම පැමිණිලි විභාගයට ගත් අවස්ථාවේ වර්ණිත රැලි සෙවිලි තහඩුවල ඇති දුර්වලතාව විත්තිකාර සමාගමේ නිලධාරීන් පිළිගන්නා ලද බවත් එම නිසා පැමිණිලිකරු වන්දි මුදලක් ඉල්ලා සිටියද විත්තිකරුවන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවද නීතිඥවරයා අධිකරණයට සැල කළේය.

පැමිණිලිකරු මිලදී ගත් විත්තිකාර සමාගමේ නිෂ්පාදිත වර්ණිත රැලි සෙවිලි තහඩුවල එකින් එකට එස්.එල්.එස්. සහතිකය ඇති බවට මුද්‍රා තබා තිබුණද විත්තිකාර සමාගම නිෂ්පාදිත එම වර්ණිත රැලි සෙවිලි තහඩු සඳහා එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය ලබා නොමැති බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලිඛිතව දැනුම්දී ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැන්වීය.

මෙම කරුණු සැලකිල්ලට ගෙන විත්තිකරුවන්ගෙන් මිලදී ගෙන පැමිණිලිකරුගේ නිවෙස සෙවිලි කරන ලද වර්ණිත රැලි තහඩු එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය නොමැති පැමිණිලිකරුගේ අවශ්‍යතාවට ගැළපෙන සුදුසු තත්ත්වයක් නොමැති නිෂ්පාදනයක් බවට තීන්දු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටී. ජේ‍යෂ්ඨ නීතිඥ නිමල් මාරසිංහ මහතා, පැමිණිලිකරුගේ නව නිවෙසට සිදුවුණ භෞතික හානිය හේතුවෙන් පැමිණිලිකරුට ආර්ථික සහ මානසික පීඩනයක් සිදුවූ බවට නිගමනය කරන ලෙසත් අයැද සිටියේය.

මෙම භෞතික හා ආර්ථික වශයෙන් සිදුවූ හානිය මූල්‍යමය වශයෙන් රුපියල් ලක්ෂ පනහක් බවට තීන්දු කර එම වන්දි මුදල විත්තිකරුවන්ගෙන් ඒකාබද්ධව හෝ වෙන් වෙන්ව අය කර දෙන ලෙසද නීතිඥවරයා තවදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ එවකට හිටපු සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක පාරිභෝගික සේවා අධිකාරියේ එවකට හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ලේඛන රැසක් නම් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon