දුම්රිය පණ අදී: බලධාරියෝ මර නින්දේ: මගීන් අනාථයි

  👤  2122 readers have read this article !
By mawbima 2018-11-21

උපතිස්ස පෙරේරා

දුම්රිය එන්ජින් හා මැදිරි මෙන්ම අලෝක සංඥා පද්ධති නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් ඉකුත් කාලසීමාව තුළ දුම්රිය ධාවනය අඩපණ වීමෙන් තමන් දැඩි දුෂ්කරතාවලට පත්ව ඇතැයි දුම්රිය මගීහු චෝදනා කරති.
ගත වූ දෙමසක පමණ කාලසීමාව තුළ දිනපතාම පාහේ දුම්රිය 2-3ක් කාර්මික දෝෂයන්ට ලක්වීම, දුම්රියන් විනාඩි 15, 30, පැයක් වැනි කාලසීමාවක් ප්‍රමාද වී ධාවනය කිරීම, ඇතැම් දුම්රියන් හිටිහැටියේ අවලංගු කිරීම, නිසා විශාල වශයෙන් පීඩාවට පත් වන්නේ කොළඹ හා අවට සේවය සඳහා පැමිණෙන රජයේ හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් බවද ඔවුහු පෙන්වා දෙති.

පෙරේදා (19දා) පස්වරු 5.30ට පමණ ප්‍රධාන දුම්රිය මාර්ගයේ මාර්ග සංඥා පද්ධතිය හිටිහැටියේ අක්‍රිය වීම නිසා කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වූ කාර්යාල හා දුරගමන් සේවා දුම්රියන් ගණනාවක් පැයකට අධික කාලයක් ප්‍රමාද වී ධාවනය කිරීම නිසා සිය රැකියා අවසන් කර නිවෙස් බලා යෑමට පැමිණි දහස් ගණනක් දුම්රිය මගීන් දැඩි අසීරුතාවකට පත් වූහ. මාර්ග සංඥා නොමැතිකමින් කොටුවේ සිට මහනුවර, මහව, රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රිය 6ක් රාගම සහ ගම්පහ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ හිරවී තිබිණි.

මේ ප්‍රමාදය හේතුවෙන් මීරිගම, අඹේපුස්ස, අලව්ව, පොල්ගහවෙල දුම්රිය ස්ථානවලින් බැස එතැන් සිට බස් රථවලින් තම ගම්බිම් බලා යෑමට පැමිණි කාර්යාල සේවක සේවිකාවන්ට ඒ වන විටත් බස් රථ පිටත්ව ගොස් තිබූ නිසා අධික මුදලක් ගෙවා ත්‍රිරෝද රථ ඇතුළු වෙනත් විකල්ප වාහනවලින් සිය නිවෙස්වලට යෑමට සිදුව තිබේ.

දුම්රිය මගීන් සඳහන් කරන්නේ අන් කවර කාලයක හෝ සිදු නොවූ ආකාරයෙන් මේ වන විට දුම්රිය ධාවනය අඩපණ වීම නිසා නියමිත වේලාවට සේවයට වාර්තා කිරීමට නොහැකි වීමෙන්ද, කලට වේලාවට නිවෙස් කරා ළඟා වීමට නොහැකි වීමෙන්ද තමන් රාජකාරිමය මෙන්ම පෞද්ගලිකවද ප්‍රශ්න ගණනාවකට මුහුණ දී ඇති බවයි. මේ පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු බලධාරීන් කිසිදු සැලකිල්ලක් නොදැක්වීමෙන් රටේ ආර්ථිකයට මෙන්ම එදිනෙදා පරිපාලන කටයුතුවලට සිදු වන්නේ බරපතළ හානියක් බවද ඔවුහු පෙන්වා දෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon