සම්පන්දන් හා හකීම් හදන්නේ රනිල් ලවා රට බෙදාගන්නයි

  👤  2369 readers have read this article !
By mawbima 2018-11-21

බහුතරය පෙන්වන්න උනන්දු වන දෙමළ හා මුස්ලිම් පක්ෂවලට අවශ්‍ය නිජභූමි සංකල්පය මත රට බෙදා ගැනීම බවත් එය රනිල් වික්‍රමසිංහගෙන් හැර වෙනත් අයකුගෙන් ලබා ගැනීමට නොහැකි බව ඔවුන් දන්නා බවත් ආචාර්ය ගුණදාස අමරසේකර පැවැසීය.

හෙතෙම එම අදහස් පළ කළේ ඊයේ රාජගිරියේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. ජාතික සංවිධාන එකමුතුව සංවිධාන කොට තිබූ එම මාධ්‍ය හමුවේදී ගුණදාස අමරසේකර මහතා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

අද පාර්ලිමේන්තුව පත්වී ඇත්තේ අසූචි වළක තත්ත්වයකටයි. පක්ෂ දෙකේම අයගේ හැසිරීම අනුමත කරන්න බැහැ.

මේ තත්ත්වයට කථානායකවරයාත් වගකිව යුතුයි. ඔහු රනිල් වික්‍රමසිංහගේ ගෝලයෙක් හැටියට වැඩ කරනවා. රනිල් වික්‍රමසිංහ බලය නැති වෙන කොට පාර්ලිමේන්තුව අසූචි වළක් වගේ කියල පෙන්වන්න ඔහුට වුවමනා වුණා. බටහිර අය ඒ දෙස බලා සිටියා. මේ රට අරාජික රටක් කියලා පෙන්වන්නයි ඔවුන්ට ඕන වී තිබෙන්නේ.

මේ අරාජික බවින් මිදෙන්න නම් හොඳම විකල්පය වහාම මහ මැතිවරණයකට යෑම පමණයි. එසේ නැතිව කරන විසඳුම්වලින් ජනතාවට සේවයක් වෙන්නේ නැහැ.

බහුතරය තියෙනවා කියලා කියන අය මේ රටේ පැවැත්මට නෙවෙයි කටයුතු කළේ. එජාපය බහුතරය පෙන්වලා මොනවද කරන්න හදන්නෙ? රට බෙදන ව්‍යවස්ථාව සම්මත කරන්න. වරාය විකිණුවා වගේ ගුවන් තොටුපොළ ඇතුළු අනෙකුත් ජාතික සම්පත් විකිණීම, රටට අවාසි සහගත වෙළෙඳ ගිණුම්වලට යෑම ආදිය තමයි ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නෙ.

කථානායක පාර්ලිමේන්තුව රැස් කළේ නීත්‍යනුකූලවද කියන ප්‍රශ්නය තිබෙනවා. ජනපතිගේ ගැසට් නිවේදනය අත්හිටුවන්න නියෝගයක් දුන් පමණින් පාර්ලිමේන්තුව රැස් කළ හැකිද යන ප්‍රශ්නය තියෙනවා. තවමත් ජනපතිගේ තීරණය නිෂ්ප්‍රභ වී නැහැ. අත්හිටුවීම කියන්නේ නිෂ්ප්‍රභ වීමට නෙවෙයි.
නීතිඥ කල්‍යානන්ද තිරණාගම

බෙදුම්වාදී හා බටහිර බලවේගවල මෙහෙයවීමෙන් මහ පරිමාණ කුමන්ත්‍රණයක් සිදු වෙනවා. ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරනවා. ජනාධිපති, අධිකරණය, මන්ත්‍රිවරුන් සියලු දෙනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා.

2002දී නඩුකාරයො 7 දෙනෙක් තීරණය කළා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිට තිබෙන බලය උදුරාගන්න බැහැ කියලා. එහෙම උදුරා ගත්තොත් ජනතා පරමාධිපත්‍ය බලය උදුරා ගැනීමක්. රනිල් 2002දී අවුරුදු හතරහමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ කියලා යෝජනාවක් ගෙනාවා. ඒත් ශේ‍ර්ෂ්ඨාධිකරණය විරුද්ධ වීම නිසා ඒක කරන්න බැරි වුණා.
ඒත් 19 සංශෝධනය මඟින් ඒක කිරීම ව්‍යවස්ථාවට පටහැනියි. 2015 පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණයෙන් එවක පැවැති ආණ්ඩුවට රට පාලනය කරන්න ජනවරමක් නැහැ කියලා ඔප්පු වුණා. ඒ නිසා වහාම ඡන්දයකට යෑමයි දැන් කළ යුතු වන්නේ.

ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

2015 ජනතා වරම අනුව කටයුතු නොකිරීම නිසායි මේ ප්‍රශ්න උදා වී තිබෙන්නේ.

එජාපයට ආණ්ඩුවක් හදන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් නැහැ. ඒ වගේම ජනතාවගේ බලයකුත් නැහැ. පරමාධිපත්‍යය විසින් අනුමත නොකරන ලද පිරිසක් තමයි පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව කියමින් අරගල කරන්නෙ. දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන බොහෝ දෙනකු කතා කරනවා. කලාකරුවොත් දේශපාලන සදාචාරය දුරාචාරය ගැන කතා කරනවා.

වෛද්‍ය වසන්ත බණ්ඩාර

දේශපාලන අර්බුද හැමවිටම නරක තැනකින් කෙළවර වන්නේ නැහැ. 2003 දී ජවිපෙ කටයුතු කළේ එජාපය හා චන්ද්‍රිකා ජනාධිපතිනි අතර අර්බුදයක් ඇති කිරීමටයි. එදා එම ආණ්ඩුව බිඳ වැටීම රටට යහපතක්.
අදත් එවැනි දෙයක් තමයි සිදු වී තිබෙන්නේ.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon