නීති විරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කළ සිවුවැනි ලොරියත් පැල්මඩුල්ල පොලිසියෙන් අත්අඩංගුවට

  👤  705 readers have read this article !
By mawbima 2018-11-20

අටකලන්පන්නේ - තරිඳු උදයකාන්ත

නීති විරෝධී ලෙස ගවයන් හත් දෙනකු ප්‍රවාහනය කළ ලොරි රථයක් සැකකරුවන් දෙදෙනකු සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර එහි රියැදුරු ගවයන් බැඳීමට ලණු රැගෙන එන බව පවසා පැනගොස් ඇතැයි පැල්මඬුල්ල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ගවයන් ලොරි රථය තුළ ඉතා හිංසාකාරී ලෙස පැය හතරකට වඩා රඳවා තැබීමට සිදුව ඇත. සතුන් ප්‍රවාහනය කිරීමට නුසුදුසු මට්ටමේ තිබූ ලොරියක් මේ සඳහා යොදා ගෙන තිබිණි. ගවයන් රැගත් ලොරිය තණමල්විල සිට ක¼දාන ප්‍රදේශයට ගමන් කිරීමට නියමිතව තිබිණි.

උඩවලට, පල්ලෙබැද්ද, ගොඩකවෙල, කහවත්ත ආදී පොලිස් බල ප්‍රදේශ පසුකර ඇතත් එහි පොලිස් ස්ථානවලට වසන් වී මෙම නීති විරෝධී ගවයන් ප්‍රවාහනය කර ඇති බව ගවයන් නිරීක්‍ෂණයට පැමිණි පැල්මඬුල්ල අභය අවිහිංසාවාදී සන්ධානය පවසයි. පසුගිය මාස කිහිපය තුළ පැල්මඬුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිවුවැනි ලොරි රථය මෙයයි. එමඟින් ජීවිත බේරා ගැනීමට හැකිවූ එළ ගවයන් හා මී ගවයන් සංඛ්‍යාව පනස් පස් දෙනෙකි. පැල්මඬුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රාජසන්තක කළ සියලු ගවයන් අවිහිංසාවාදී සංවිධාන වෙත භාර කර තිබේ.

ගවයන් සහිතව ධාවනය කළ ලොරි රථය පිළිබඳ තොරතුරු ලැබී ඇත්තේ පැල්මඬුල්ල පොලිසියේ බුද්ධි අංශ නිලධාරියා වෙතයි. ඒ වනවිටත් ප්‍රදේශයේ රාජකාරි කටයුත්තක නියැළී සිටි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක හේමල් වීරසිංහ මහතා පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සෙනරත් බණ්ඩාර මහතාගේ උපදෙස් මත වැටලීමට අදාළ කටයුතු මෙහෙයවීය.

පැල්මඬුල්ල පොලිස් ස්ථානය ඉදිරිපිට ක්‍ෂණික මාර්ග බාධකයක් යොදවා ලද තොරතුරු අනුව අදාළ ලොරි රථය අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරුවන් දෙදෙනා සමඟ පොලිස් භාරයට ගත් ගවයන් ලොරි රථයෙන් බැස්සවීමට කඹ ගෙන එන බව පවසා රියැදුරු බසයක නැඟී පලා ගොස් ඇත. ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කියයි. රියැදුරාගේ රියැදුරු බලපත්‍රයද පොලිස් භාරයට ගෙන තිබේ.
අදාළ සැකකරුවන් හා ලොරි රථය 19 වැනිදා පැල්මඬුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වැටලීම් සඳහා රථවාහන අංශයේ පොලිස් සැරයන් පීරිස් (32296), පොලිස් කොස්තාපල් දයානන්ද (46244), සඳුන් (69087) සහ අසේල (37087) යන නිලධාරීහු සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon