එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රාදේශීය නායකයා මියගියේ හෘදයාබාධයකින්

  👤  702 readers have read this article !
By mawbima 2018-11-20

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

හඳුනාගත නොහැකි රෝගයකින් මියගිය බවට කලින් ප්‍රකාශ වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුලතිව් දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය නායකයා පසුගියදා මියගොස් ඇත්තේ හදිසියේ වැලඳුණු හෘදයාබාධයකින් බව තහවුරු වී තිබේ.
ඒ ඔහුගේ සිරුරේ අභ්‍යන්තර අවයව කොටස් මුලතිව් රෝහලේ වෛද්‍යවරු විසින් කොළඹ රජයේ වෛද්‍ය රසායනාගාරය වෙත යවා ලබා ගන්නා ලද වාර්තාවන්ට අනුවය.

මියගිය අයගේ බිරිය පවසා තිබුණේ තම ස්වාමියාට කිසිදු රෝගයක් නොතිබුණු බවය.

ඇය එසේ ප්‍රකාශ කොට ඇත්තේ පළාතේ පිරිසක් ඇයට පවසන ලද තොරතුරු පදනම් කරගෙන බවටද මේ වන විට තොරතුරු හෙළිවී තිබේ. රජයේ පුනරුත්ථාපන වැඩසටහනට අනුයුක්ත කරන ලද එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන්ට එම කඳවුරුවලදී විස එන්නතක් ලබාදීම නිසා එම සාමාජිකයන් කිසිදු රෝගයක් නොමැතිව මියයන බවට මීට වසර තුනකට ඉහතදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් පිරිසක් විසින් කතාවක් ගොඩනඟා තිබිණි.

මුලතිව් ප්‍රාදේශීය එල්.ටී.ටී.ඊ. නායකයා මියයෑමත් සමඟම යළිත් මේ කතාව එළියට පැමිණි නිසා මියගිය අයගේ බිරිය මේ මරණය සැක සහිත බව පවසා තිබිණි.

ජෙෆ්රි විජිතන් නමැති 37 හැවිරිදි මොහු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව වසර දෙකක කාලයක් රජයේ පුනරුත්ථාපන වැඩපිළිවෙළ යටතේ පුනරුත්ථාපනය වූවෙකි.
පුනරුත්ථාපනය වීමෙන් පසුව ඔහු සිය බිරිය හා දරුවන් දෙදෙනා සමඟ මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ ජීවත්වී තිබේ.

මොහු 12දා රාත්‍රි නින්දට ගොස් ඇති අතර ඔහු නිදිපැදුරේම මියගොස් තිබේ.

මොහුගේ නිවෙසට පැමිණි මුලතිව් පොලිසියේ නිලධාරීන් ඔහුගේ මෘත ශරීරය පරීක්‍ෂණ කටයුතු සඳහා මුලතිව් රෝහලට භාරදී මියගිය අය සම්බන්ධයෙන් මුලතිව් රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ඔහු මිය යෑමට හේතුව පැහැදිලිව අනාවරණය නොවීම නිසා අධිකරණ නියෝග මත මියගිය අයගේ සිරුරේ කොටස් රජයේ වෛද්‍ය රසායනාගාරය වෙත වැඩිදුර පරීක්‍ෂණ සඳහා යවා තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon