යළි කිසිම දිනක කවර අවශ්‍යතාවක් සඳහාවත් දෙමළ ජාතික සන්ධානයට එක් වන්නේ නැහැ - විග්නේශ්වරන්

  👤  700 readers have read this article !
By mawbima 2018-11-20

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

තමන් වෙනම දේශපාලන පක්ෂයක් පිහිටුවන ලද්දේ තවත් දේශපාලන පක්ෂයකට හේත්තු වී පසෙකට වීමට නොවන බව සී.වී. විග්නේශ්වරන් මහතා යාපනයේදී පැවැසීය.

උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා මෙසේ කියා සිටියේ යාපනයේ පලාලි පාරේ පිහිටි පොදු උත්සව ශාලාවකදී දෙමළ ජනතා සන්ධාන පක්ෂයේ මධ්‍යම කාරක සභාව අමතමිනි.

සී.වී. විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජනතා සන්ධානයේ (ටී.එම්.කේ.) පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එක් අයකු ප්‍රකාශ කොට සිටියේ සියලුම දෙමළ දේශපාලන පක්ෂ එකට එක්විය යුතු බවට ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා විසින් ඉදිරිපත් කොට ඇති යෝජනාව සම්බන්ධයෙන් ටී.එම්.කේ. පක්ෂයේ ස්ථාවරය දැන ගැනීමට කැමැති බවයි.

මෙහිදී අදහස් දැක්වූ විග්නේශ්වරන් මහතා පවසා සිටියේ තමන් හෝ තම පක්ෂය යළි කිසිම දිනක කවර අවශ්‍යතාවක් සඳහාවත් දෙමළ ජාතික සන්ධානයට එක් වීමක් හෝ එම පක්ෂයේ ලකුණක් යටතේ මැතිවරණයට තරග නොකරන බවයි.

තමන් මෙවැනි තීරණයක් ගන්නා ලද්දේ අදක ඊයේක නොව උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවගේ පිබිදීම වෙනුවෙන් උත්සව මාලාවක් සංවිධානය කළ අවස්ථාවේදී බව ඔහු කියා සිටියේය.

දෙමළ ජනතාවගේ යහපත හා දෙමළ ජනතාව දිනාගැනීම සඳහා යමක් කරන අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය ඒ දෙස බලන ලද්දේ දැඩි ඊර්ෂ්‍යාවකින් බව පැවැසූ විග්නේශ්වරන් මහතා තමන් විසින් සිදු කළ දෙමළ ජනතාවගේ පිබිදීම වැඩසටහනට දෙමළ ජාතික සන්ධානය විසින් දක්වන ලද්දේ එවැනි ප්‍රතිචාරයක් බවද කීය.

දෙමළ ජාතික සන්ධානය තමන්ව උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු හා සැලසුම් දියත් කළේද මේ ඊර්ෂ්‍යාව නිසාම බව කී සී.වී. විග්නේශ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයට යන එන මං නොමැති අවස්ථාවලදී කොතරම් උදවු උපකාර කළද ඒවායෙහි කිසිදු කෙළෙහිගුණයක් එම පක්ෂයේ නායකයන් තුළ නොමැති බව උදාහරණ කීපයක් මඟින් ඔහු පෙන්වා දුන්නේය.

මේ නිසා තමන් යළිත් වරක් එවැනි පක්ෂයකට සහාය ලබා නොදෙන බවත් තමන්ගේ එකම අරමුණ ටී.එම්.කේ. පක්ෂය උතුරු පළාත තුළ ව්‍යාප්ත කොට දුක් විඳින හා දෙමළ ජාතික සන්ධානයට රැවටී සිටින ජනතාව ඉන් මුදා ගැනීම බවත් මෙහිදී කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon