විදෙස් න්‍යාය පත්‍රවලට වැඩ කරන්න එපා වහාම මහ ඡන්දයක් පවත්වන්න

  👤  2069 readers have read this article !
By mawbima 2018-11-20

පාර්ලිමේන්තුව නැවත නැවත රැස්වීමෙන් අර්බුදය යළි - යළිත් උත්සන්න වන බවක් පෙනෙන හෙයින්, අධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් පාර්ලිමේන්තු රැස්වීම් කැඳවීමෙන් වැළැකී සිටින ලෙස බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය අදාළ වගකිවයුතු අංශවලට දන්වා සිටී.

බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති දිවියාගහ යසස්සී, සම ලේකම්වරුන් වන තිරිකුණාමලේ ආනන්ද, මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේගේ අස්සනින් නිකුත් කර ඇති නිවේදනයෙහි එසේ සඳහන් වෙයි. ජනාධිපතිතුමාත්, කථානායකතුමාත් අපේ රට ප්‍රමුඛස්ථානයෙහි තබාගෙන අපක්ෂපාතීව, දූරදර්ශීව ක්‍රියා කළහොත් රට නැවත ස්ථාවර තත්ත්වයකට ඉක්මනින් පත්කරගත හැකිවනු ඇතැයි උන්වහන්සේ එම නිවේදනය මඟින් අවධාරණය කර සිටිති. එසේ නොකළහොත් විවිධ උපාමාරු යොදමින් රටත්, ජනතාවත් බෙදීමට මාන බලන දේශීය හා විදේශීය බලවේගවල පටු ක්‍රියාදාමයන් වඩාත් බලගන්වා ගැනීමට එය නොමඳ පිටිවහලක් වනු නොඅනුමාන යැයි උන්වහන්සේ ප්‍රකාශ කරති.

මෙම ශෝචනීය තත්ත්වයෙන් අපේ රටත්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයත් යථාවත් කිරීමට නොපමාව පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා ප්‍රමුඛව සියලු දේශපාලන පක්ෂ නායකයන්ගෙන් අපි උදෙක්ම ඉල්ලා සිටිමුයි එම නිවේදනයෙහි දැක්වෙයි. රාජ්‍ය පාලන තන්ත්‍රයේ උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය මත රට තුළ අස්ථාවරභාවයක්ද මහජනතාව තුළ දැඩි නොසන්සුන් බවක්ද ඇති වී තිබෙන බව හැමදෙනාටම ප්‍රත්‍යක්ෂ වන කරුණක් බවද නිවේදනයෙන් පෙන්වා දී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු සම්ප්‍රදායක් පවතින ශ්‍රී ලංකාවේ ජනතා පරමාධිපත්‍යයක් ගැන පුන පුනා සඳහන් කෙරුණද ජනතා අභිලාෂයන්ට වඩා ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමටත් වඩා විදේශීය බලපෑම්වලට යටත්ව තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රවලට අනුකූලව ක්‍රියාකරන්නට යෑමෙන් රට තුළ මෙබඳු වියවුල් ස්වභාවයක් හටගෙන ඇති බව පෙනෙන්නේ යැයි සඳහන් කරන එම නිවේදනයෙහි මීට පාලක පක්ෂයෙහි හා විපක්ෂයෙහි සිටින සියලු දේශපාලන පක්ෂ වගකිවයුතු බව අපගේ හැඟීම යැයි සඳහන් කර ඇත.

බුදුරජාණන් වහන්සේගේ හේතුඵල න්‍යායට අනුව ගැටලු නිරාකරණය කරගැනීමට දේශනා කළ ධර්ම මාර්ගයට අනුගතව මීට විසඳුම් සෙවිය යුතු බවත් තම තමන්ගේ වැරැදි නොසොයා අනුන්ගේ ‍ෙදාස් පමණක් හුවා දක්වන්නට යෑමෙන් මෙම ගැටලුව විසඳෙන්නේ නැතැයි පෙන්වා දෙන එම නිවේදනයෙහි තමන්ගේ මතවාදයනට අනුගතව ජනතාව උද්ඝෝෂණවලට පෙලඹවීමෙන්ද මෙම ප්‍රශ්න නිරාකරණය නොවන බව සඳහන් වෙයි.

අප රට තුළ දිගු කලක් මුළුල්ලේ පැවැති සම්භාවනීය සංස්කෘතික ශික්ෂණයනට පිටුපා මහජන නියෝජිතයන් කලහකාරී ලෙස හා ප්‍රකෝපකාරී ලෙස හැසිරීමෙන් පැහැදිලි වන්නේ ඔවුන්ගේ දේශපාලන අපරිණතභාවය බැවින් මතු පරපුරටද ඉතා වැරැදි පූර්වාදර්ශයක් වන මෙය කිසිසේත් අනුමත කළහැකි නොවන බවද එම නිවේදනයෙහි දැක්වෙයි.

මේ වනවිට පක්ෂ _ විපක්ෂ දෙපාර්ශ්වයෙන්ම මහ මැතිවරණයකට යෑමේ විසඳුමකට කැමැත්ත පළ වී ඇති හෙයින් එබඳු ක්‍රියාදාමයක් ආරම්භ වන තෙක් මහජනතාවගේ හෘද සාක්ෂියට එකඟව පාර්ලිමේන්තු නියෝජිතයන් බහුතරයකගේ අභිමතය ලබාගෙන මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේත් රාජ්‍ය තාන්ත්‍රික බුද්ධිමත් අවබෝධය මත සාමකාමී මැතිවරණයක් උදෙසා භාරකාර රජයක් පිහිටුවීම හෝ ඒ දෙදෙනාගේ සම්බන්ධතාව ඇතිව සාධාරණ හා සාමකාමී මැතිවරණයක් සඳහා වෙනත් සුදුසු විසඳුමක් සෙවීම රාජ්‍ය නායකයා සතු කාලීන ප්‍රබල වගකීම බව ජනතාභිවෘද්ධිකාමීව, ශාසනාලයෙන් දන්වා සිටින බවද එම නිවේදනයෙන් සඳහන් වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon