CID සමූහ මංකොල්ල විමර්ශන අංශයේ OIC මීගමුවට මාරුවක්

  👤  2118 readers have read this article !
By mawbima 2018-11-20

චාමර අමරසූරිය

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා අබිරහස් ලෙස ඝාතනය කිරීම ඇතුළු මාධ්‍යවේදීන්ට සිදු වූ කෘෘර වධහිංසාවන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා පොලිස්පති නියෝග මත වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර තිබේ.

පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරන්නේ සේවයේ අවශ්‍යතා මත යනුවෙන් සඳහන් කරමින් පෙරේදා (18දා) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පිරිදි මෙම ස්ථාන මාරුව ලබා දී ඇති බවයි.

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වධහිංසා පැමිණවීම ඇතුළු මෙරට මාධ්‍යවේදීන්ට සිදු වූ අපරාධ සම්බන්ධයෙන් විමර්ශන භාර නිලධාරියා ලෙස කටයුතු කරන්නේද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාය.

මෙම නිලධාරියා එල්ටීටීඊයට සම්බන්ධ බවට ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරියකු කළ අභූත චෝදනාවක් මත මෙම ස්ථාන මාරුව ලබා දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කප්පම් ලබා ගැනීම සඳහා තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට රැකවරණය ලබාදුන් බවට චෝදනාවක් එල්ල වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සම්බන්ධයෙන්ද අධිකරණයට කරුණු වාර්තා කොට විමර්ශන කටයුතු සිදු කරන්නේද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාය.

මෙරට සිදු වූ ආන්දෝලනාත්මක අපරාධයක් වන රෝයල් පාක් ඝාතනය, අඟුලාන ද්විත්ව ඝාතනය, භාරත ලක්ෂ්මන් ඝාතනය, මීගලෑවේ දරුවකු පැහැරගැනීම සහ වැල්ලවත්ත ප්‍රදේශයේ දැරියක පැහැරගැනීම, යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා ඝාතනය යන අපරාධ රැසක සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේද නිශාන්ත සිල්වා මහතාගේ උපදෙස් මත සිදු කළ විමර්ශනවලට අනුවය.

යාපනයේ විද්‍යා දැරියගේ ඝාතන සිද්ධියේ නඩු තීන්දුව ලබාදුන් දින යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා අධිකරණයේදී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාව ඇගැයීමට ලක් කළේය.

මෙරට පොලිස් ඉතිහාසයේ අත්අඩංගුවට ගනු ලැබූ ඉහළම පොලිස් නිලධාරීන් වන ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ සහ විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුට පලා යෑමට ආධාර අනුබල දීමේ චෝදනාවට, නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, (ව්‍යාපාරික මොහොමඩ් ෂියාස් ඝාතනය) යන දෙදෙනාද අත්අඩංගුවට ගැනීමේ විමර්ශනවලට නිශාන්ත සිල්වා මහතා විශාල සහායක් ලබා දී ඇති නිලධාරියෙකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon