බස්නාහිර පළාත් සභා ලබන වසර සඳහා ඇස්තමේන්තු වියදම ගිය වසරට වඩා රුපියල් මිලියන 9635ක් වැඩියි

  👤  2099 readers have read this article !
By mawbima 2018-11-20

ඉෂාරා සිල්වා

බස්නාහිර පළාත් සභාවේ 2019 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශය ප්‍රධාන අමාත්‍ය මුදල්, ක්‍රම සම්පාදන හා පළාත් පාලන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පළාත් සභාවට ඊයේ ඉදිරිපත් කළේය.

ඒ අනුව ලබන වසර සඳහා ඇස්තමේන්තුගත මුළු වියදම රුපියල් මිලියන 81,281ක් වන බවත් එය පසුගිය වර්ෂයට වඩා රුපියල් මිලියන 9635ක එනම් 13.4%ක වැඩිවීමක් බවත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.

බස්නාහිර පළාතේ 2019 වසරේ අය-වැය ලේඛනයෙන් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයට වන අතර රුපියල් මිලියන 31,033ක් බවත් එය 2018 වර්ෂයේ වෙන් කළ මුදලට වඩා 11%ක වැඩිවීමක් බවත් අය-වැය ඉදිරිපත් කරමින් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවැසීය.

අය-වැය මඟින් සෞඛ්‍ය සේවාව සඳහා 2019 වර්ෂයට රුපියල් මිලියන 17,306ක් වෙන් කර තිබෙන අතර එය 2018 වර්ෂයේ වෙන් කළ මුදලට වඩා 36%ක වැඩිවීමක් බවද දේශීය වෛද්‍ය සේවය සඳහා රුපියල් මිලියන 743ක මුදලක් වෙන්කර තිබෙන බවද ප්‍රධාන ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මීට අමතරව ලබන වසරේ මූල්‍ය ප්‍රකාශය මඟින් පළාත් පාලන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 8465ක්ද අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා රුපියල් මිලියන 47ක්ද සංචාරක අංශය සඳහා රුපියල් මිලියන 24ක්ද සංස්කෘතික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 64ක්ද ක්‍රීඩා කටයුතු සඳහා මිලියන 124ක්ද කෘෂිකර්මාන්තය සඳහා මිලියන 761ක්ද සත්ත්ව නිෂ්පාදන සඳහා රුපියල් මිලියන 380ක්ද සුළු වාරිමාර්ග සංවර්ධනය සඳහා මිලියන 63ක්ද ධීවර කටයුතු සඳහා රුපියල් මිලියන 10ක්ද සමාජ සේවා කටයුතු සඳහා රුපියල් මිලියන 10ක්ද පරිවාස කටයුතු සඳහා රුපියල් මිලියන 274ක්ද මගී ප්‍රවාහන අධිකාරිය සඳහා රුපියල් මිලියන 230ක්ද, පළාත් මාර්ග සංවර්ධනය සහ නඩත්තුව සඳහා රුපියල් මිලියන 400ක්ද කර්මාන්ත ක්‍ෂේත්‍රය සඳහා රුපියල් මිලියන 290ක්ද වෙන්කර ඇත.

ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රුපියල් මිලියන 81,281ක් වන ඇස්තමේන්තු ගත මුළු වියදමෙන් රුපියල් මිලියන 8465ක් පුනරාවර්ථන වියදම් වන අතර රුපියල් මිලියන 1170ක් ප්‍රාග්ධන වියදම් වන බවයි. මුළු වියදම පියවා ගැනීම සඳහා රජයෙන් ලැබේ යැයි අපේක්‍ෂිත ජාතිය ගොඩනැඟීමේ බදු සහ මුද්දර ගාස්තුව රුපියල් මිලියන 30,624ක් ලෙසත් රජයේ ප්‍රධාන වශයෙන් රුපියල් මිලියන 22,217ක් බලාපොරොත්තු වන බවත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.

පළාත් සභාව රැස් කිරීමට බලාපොරොත්තු වන ආදායම රුපියල් මිලියන 26,180ක් වන අතර පෙර ඉතිරිවීම්වලින් රුපියල් මිලියන 2260ක් ආයෝජනය කරන බවද ඔහු තවදුරටත් අය-වැය කතාව කරමින් කියා සිටියේය.
2019 වසර සඳහා අපේක්‍ෂිත පුනරාවර්තන වියදම රුපියල් මිලියන 68,460ක් වන අතර එය මෙම වර්ෂයේ දැරීමට අපේක්‍ෂිත මුළු වියදමින් 84.23%ක් වන බවත් 2019 වසරේ අපේක්‍ෂිත ප්‍රාග්ධන වියදම රුපියල් මිලියන 12,820ක් වන බවත් එය වසරේ දැරීමට අපේක්‍ෂිත මුළු වියදමෙන් 15.77%ක් වන බවත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවැසුවේය.

සිය අය-වැය කතාව කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ අර්ථවත් විවේචන කරමින් 2019 වසර සඳහා ඉදිරිපත් කළ අය-වැය සම්මත කර ගැනීම සඳහා සියලු දෙනාගේම සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 204 දරන ස්තානයේ පිහිටි නව පළාත් සභා කාර්යාල ගොඩනැඟිල්ලේ ඊයේ (19දා) බස්නාහිර පළාත් සභාව රැස්වූ අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා අය-වැය කතාව ඉදිරිපත් කළේය.

මේ අතර මන්ත්‍රිවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ කරන අවස්ථාවේ උපාලි කොඩිකාර මන්ත්‍රිවරයා වරප්‍රසාද ප්‍රශ්නයක් සභාපතිවරයා වෙත යොමු කළ අවස්ථාවේ ඊට බාධා කරමින් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මන්ත්‍රිවරයා මහින්ද රාජපක්‍ෂට මළබත කන්න සූදානම් වෙන්න කියන්නැයි පැවසීම හේතුවෙන් සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් මතුවිය.

එහිදී සභාපතිවරයා සභාව සන්සුන් කිරීමට උත්සාහ කරමින් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මන්ත්‍රිවරයාට කියා සිටියේ බුලත් කොළයෙන් ඡන්දය ඉල්ලා තේරී පත්වූ මන්ත්‍රිවරයෙක් ලෙස රටේ නායකයකුට එවැනි අපහාසයක් කිරීම සම්බන්ධයෙන් තමා කනගාටු වන බවයි.

මේ අතර විශාල මුදලක් වැය කරමින් තැනූ නව බස්නාහිර පළාත් සභා කාර්යාල සංකීර්ණයේ පිහිටි නව සභා ශාලාවේ මහජන සහ ආරාධිත ගැලරියේ ප්ලාස්ටික් පුටු තබා ඇති ආකාරයද දැකගත හැකි විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon