විමල්ට හා සමන්ත ලොකුහැන්දිගේට එරෙහි වාහන අවභාවිත නඩුව ලබන වසරේ මැයි 06ට කල් යයි

  👤  2078 readers have read this article !
By mawbima 2018-11-20

අමිල අබේරත්න

රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවට කුලී පදනම මත ලබාගත් වාහන 40ක් අවභාවිත කිරීමෙන් රජයට රුපියල් නව කෝටි දහසය ලක්‍ෂ තිස්පන්දහසකට අධික මුදලක් පාඩු කළේ යැයි කියන සිද්ධියේ විමර්ශන අවසන් කොට නීතිපති උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (19දා) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
එලෙස දැනුම්දෙනු ලැබුවේ සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය.

විමර්ශන අවසන් කොට නීතිපති උපදෙස් සඳහා යොමු කරනු ලැබුවද ඒ සම්බන්ධයෙන් තවම නීතිපති උපදෙස් ලැබී නොමැති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් අධිකරණයට දැනුම් දෙනු ලැබිණි.

ඒ අනුව කොළඹ 07, කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නීතිපති උපදෙස් සඳහා නඩුව ලබන වසරේ මැයි 6 වැනි දින කැඳවීමට තීරණය කළේය.

සිද්ධිය සම්බන්ධව හිටපු නිවාස සංවර්ධන සහ ඉන්ජිනේරු සේවා පිළිබඳ අමාත්‍ය වත්මන් නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකු වන සමන්ත ලොකුහැන්නදිගේ මහතා චෝදනා ලැබ සිටින අතර ඔවුනට එරෙහිව ඇති චෝදනා වනුයේ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවට කුලී පදනම මත ලබාගත් වාහන 40ක් අවභාවිතකර රුපියල් නව කෝටි දහසය ලක්‍ෂ තිස් පන්දහසකට අධික මුදලක් රජයට පාඩු සිදුකිරීමයි.

විමල් වීරවංශ මහතා නිවාස සංවර්ධන සහ ඉන්ජිනේරු සේවා පිළිබඳ අමාත්‍යවරයාව සිටියදී සිද්ධිය සිදුව ඇත.

හිටපු සහ වත්මන් අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන්ත ලොකුහැන්නදිගේ මහතා සිද්ධියට අදාළව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිට මේ වන විට ඇප ලබා සිටින අතර අධිකරණය මඟින් ඔවුන්ට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon