තමා කෝටි 80ක් වියදයම් කර නිල නිවාසයක් ඉදි කරන බවට මහ ඇමැතිවරයා කළ ප්‍රකාශය සාවද්‍යයි

  👤  2116 readers have read this article !
By mawbima 2018-11-20

උදයන්ති මුණසිංහ

බස්නාහිර පළාත් සභාවේ රුපියල් කෝටි 80ක් වියදම් කොට ආණ්ඩුකාරවයා විසින් නිල නිවාසයක් ඉදි කරන බවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශය සාවද්‍ය බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා අවධාරණය කළේය.

තමා ආණ්ඩුකාර ධුරයට පත්වූයේ මේ වසරේ අප්‍රේල් මස 12දා බවත් තමාට පෙර ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ කේ.සී. ලෝගේශ්වර මහතා විසින් මේ නිල නිවෙස තැනීමේ කටයුත්ත ආරම්භ කළ අතර තමා ආණ්ඩුකාර ධුරයට පත්වන විටත් එහි වැඩකටයුතු අවසන් අධියරයේ පැවැති බවත් ඔහු කියා සිටියේය.

ඉසුර දේවප්‍රිය අමාත්‍යවරයා මෙහිදී තමාට චෝදනා කළද ඔහු ඇතුළු පළාත් අමාත්‍ය මණ්ඩලය පසුගිය ඔක්තෝබර් 12දා හැටපස් වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ නිල නිවෙස සෑදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලබාදී තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මීට පෙර බස්නාහිර පළාත් සභාවට මිල අධික පුටු ගෙන ඒමට කටයුතු කරද්දී තමාට ලැබුණු පැමිණිල්ලකට අනුව එම පුටු මිලදී ගැනීම තහනම් කළ පසුව තමාට විවිධ චෝදනා එල්ල වූ අතර ඇතැමුන් තමා සමඟ අමනාප වූ බවත් ඔහු පැවැසුවේය.

මෙහිදී කෝටි 80ක් වියදම් කරමින් මේ නිල නිවෙස තමා ඉදිකරන බවට ඉසුර දේවප්‍රිය අමාත්‍යවරයා සිදු කරන කතාව අපරාධ කතාවක් බවත්, තමා කිසි විටෙකත් මහජන මුදල් නාස්ති කිරීමට කටයුතු නොකරන බවටත් ඔහු අවධාරණය කළේය.

ඉදිරියේදී මහජන මුදල් නාස්ති කිරීමට බස්නාහිර පළාත් සභාව තුළ කිසිවෙක් හෝ කටයුතු කරන බවට තමාට පැමිණිල්ලක් ලැබුණහොත් කවුරුන් තමා සමඟ අමනාප වුවද මිල අධික පුටු ගෙන ඒම තහනම් කළ ආකාරයටම, වංචා දූෂණ අක්‍රමිකතා නැවැත්වීම වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon