බහුතරය හදා ගන්න මන්ත්‍රිවරුන් බිලීබෑම යළිත් පටන් අරන්

  👤  2155 readers have read this article !
By mawbima 2018-11-20

පාර්ලිමේන්තුව තුළ බහුතරය හදා ගැනීමට නොහැකි බංකොළොත් කණ්ඩායම ඩොලර් මිලියන 3, ලක්ෂ දස දහසේ මුදල් කුට්ටි මන්ත්‍රිවරුන්ට ලබාදී මේ දින දෙක තුළ පාර්ලිමේන්තුවේ බහුතරය හදාගැනීමට උත්සාහ දරමින් සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා යැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අක්මීමණ වංචාවල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවෙසේ ඉකුත්දා පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කීවේය.

පසුගිය දිනවල අලුතෙන් හදපු ආණ්ඩුවට එකතුවෙලා නැවත එජාපයට ආපු මන්ත්‍රිවරුන්ට බලපෑම් කරලා ඒ අය උස්සාගෙන යෑමට උත්සාහ කරපු අවස්ථාවන් අපට ආරංචි වෙනවා. මුදල් දීලා මන්ත්‍රිවරුන් ලබා ගන්නයි මේ උත්සාහ කරන්නේ. එජාපයට හා රනිල් වික්‍රමසිංහ මහත්තයාට පාර්ලිමේන්තුවේ 113ක් තියෙනවා. එතුමාට මුදල් දීලා මන්ත්‍රිවරු ගන්න අවශ්‍ය නැහැ. අපට 122ක් මන්ත්‍රිවරු ඉන්නවා. මන්ත්‍රිවරු 113ක් නැති බංකොළොත් කණ්ඩායම එක එක නායකයන්ගේ පුත්තු මැදිහත්වෙලා ගෝලයන් මැදිහත්වෙලා මුදල් ලබාදී මන්ත්‍රිවරු බිලී බා ගැනීම ආරම්භ කොට තියෙනවා.

එජාපය ප්‍රමුඛ සන්ධානයක් විදියට සන්ධානගත වෙලා ඉදිරි මැතිවරණයට තරග කරනවා. ශ්‍රී ලනිපයේ බහුතර කණ්ඩායමක් මෙම සන්ධානයට එකතුවීමට කැමැත්ත පළ කරලා තියෙනවා. සියලු දෙනාම එකතු කරගෙන ප්‍රජාතාන්ත්‍රවාදය වෙනුවෙන් වූ සන්ධානයක් හැදිලා මැතිවරණයට තරග කරන්න බලාපොරොත්තු වෙනවා. එවිට සියයට හැටක බහුතර බලයක් අරගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ගන්න අපට හැකියාව තියෙනවා. අලුත් විදියට අලුත් දැක්මකින් අලුත් මඟකින් තමයි මැතිවරණයට තරග කිරීමට සූදානමින් ඉන්නේ. එක්සත් ජාතික පෙරමුණ ඇතුළෙන් සියලු දෙනා ඉල්ලන ආසා කරන වෙනසක් එක්ක මේ ගමන යන්න බලාපොරොත්තු වෙනවා.

අගමැතිකම දෙන්න ඕන බහුතරය තියෙන පක්ෂයට. බහුතරය නැති කෙනකුට දෙන්න විදියක් නැහැ. ජනාධිපතිවරයාට සදාචාරාත්මක අයිතියක් නැහැ කාටවත් දෙන්නේ නැහැ කියලා කියන්න.

සජිත් ප්‍රේමදාස මහත්තයාට අපේක්ෂකත්වය ලබාදෙන්න ඉල්ලීමක් තියෙනවා. පක්ෂය ඒවාට ඇහුම්කන් දෙයි. පක්ෂය උගත් පාඩම්වලින් තමයි ඉදිරියට යන්නේ. ජනතාව ඉල්ලන දේ රට ඉදිරියට ගෙනියන වැඩපිළිවෙළක් සමඟ රටේ ජනතාව ඉල්ලන දේ දෙන්න ඕන. දැනට ජනාධිපතිතුමා විශ්වාස කරලා ශ්‍රී ලනිපයේ ආසන සංවිධායකවරු මන්ත්‍රි ධුරවල ඉන්න බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අය අද අනාථ වෙලා. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන කණ්ඩායමක් ලෙස ඒ අය ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණට එකතුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කරන්න කියලා එක්සත් ජාතික පෙරමුණේ සියලු මන්ත්‍රිවරු දිවුරුම් ප්‍රකාශ ලබාදීලා තියෙනවා.

මාපලගම - රසික සෙනවිරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon