භාරකාර ආණ්ඩුවේ අගමැති කවුද?

  👤  2172 readers have read this article !
By mawbima 2018-11-20

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ 73 වැනි උපන් දිනය යෙදී තිබුණේ පසුගිය 18 වැනිදාටය.

අග්‍රාමාත්‍යවරයාගේ උපන් දිනය වෙනුවෙන් දිවයින පුරා ආගමික ස්ථාන රැසක ආශීර්වාද පින්කම් පැවැත්වූ අතර එම පින්කම්වලට සහභාගි වී 18 වැනිදා සවස 6.00ට පමණ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය.

ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවීම සඳහා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාද පැමිණ සිටියේය.
එම රැස්වීමට පෙර ජනාධිපතිවරයා ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයාට යම් වගකීමක් පැවරුවේය.

ඒ උපන් දින කේක් ගෙඩියක් සමඟ චාම් උපන් දින සාදයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථානයක සූදානම් කිරීමටය.

මෙම කටයුත්ත අග්‍රාමාත්‍යවරයාට නොදැනෙන සේ සිදුකිරීමට ජනාධිපතිතුමා කටයුතු කොට තිබිණි.

සර්ව ආගමික සමුළුව යම් යම් උණුසුම් වාද විවාද මධ්‍යයේ අවසන් වූ අතර එම සාකච්ඡාවෙන් පසුව එක්සත් ජාතික පෙරමුණේ නායකයන් කිහිපදෙනකු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ උපන් දිනයට සුබ පැතීමට අමතක නොකළේය.

එම සර්ව පාර්ෂික සමුළුවෙන් පසුව ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන්ගේ රැස්වීමක් ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම සාකච්ඡාව අවසන් වන විටම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තවත් විශේෂ කටයුත්තක් අනෙක් කාමරයේ සූදානම් කර තිබෙන අතර දැන් එම කටයුත්තට සියලු දෙනාට තමා ආරාධනා කරන බවයි.
එම ස්ථානයට යෑමට පෙර ඩිලාන් පෙරේරාගෙන් ජනාධිපතිවරයාට පණිවුඩයක් ලැබුණේ චාම් උපන් දින සාදය සඳහා සියල්ල සූදානම් බවයි.

ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස එම ස්ථානයට යන විට උපන් දින කේක් ගෙඩියක් සකස් කර තිබෙන අයුරු දක්නට ලැබිණි.
කේක් ගෙඩිය කපන ලෙසට ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කරන ලදී.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කේක් ගෙඩිය කපන විට එම ස්ථානයේ සිටි මැති ඇමැතිවරු ඇතුළු මන්ත්‍රිවරු සියල්ලෝම "ඩ්චනනර ඕඪපබඩ ච්චර" ගීතය තාලයට ගායනා කළහ.
එම ගීතයේ නම කියැවෙන අවස්ථාවට කුමක්ද යොදන නම කියා යම් දෙගිඩියාවක් ඇති වූ නිසා එම කොටස සඳහා හඬ යම් ආකාරයකට බාල වූ අතර 'ර්ණීභප ඤඥචප ඵඪප' යනුවෙන් ඩිලාන් පෙරේරා උස් හ¾ඩින් එම කොටස ප්‍රකාශ කරනවාත් සමඟම සියල්ලෝම එම කොටස උස් හ¾ඩින්ම ප්‍රකාශ කළහ. සර් උපන් දිනේට ජනාධිපතිතුමා දුන්නු තෑග්ග ඇගමැතිකම ඇමැතිවරයෙක් කීවේය.
මෛත්‍රිපාල සිරිසේ ජනාධිපතිවරයා ඇතුළු සියලුම දෙනාට ස්තූති කළ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පළමු කේක් කැබැල්ල පිළිගන්වනු ලැබුවේ ජනාධිපතිවරයාටය.
ඉන් අනතුරුව එම ස්ථානයේ සිටි අනෙකුත් මැති ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රිවරුන්ට කේක් කපා බෙදාදෙන ලදී.

"දැන් ටිකකට කලින් සර්ලයි ගෙදරදීත් අපි කේක් කාලයි ආවේ. මෙහෙම කේක් කන්න ගියොත් සීනි නම් වැඩිවෙනවා ෂුවර්" යනුවෙන් මැති ඇමැතිවරුන් කිහිපදෙනකුම කියපු කතාවට අග්‍රාමාත්‍යවරයා සිනාසුණේය.
පළමු දින තුනේම පාර්ලිමේන්තුවේ මැතිසබය යුද පිටියක ස්වරූපයක් ගත් නිසා ඊයේ (19දා) දිනයේද මැතිසබය එසේ යුද පිටියක ස්වරූපයක් ගනු ඇතැයි කියා බොහෝ දෙනෙක් සිතූහ.

නමුත් කිසිවකුත් නොසිතූ ආකාරයෙන් මැතිසබයේ වැඩකටයුතු විනාඩි 5කට පමණ සීමාවූ අතර කිසිදු ගැටුම්කාරී තත්ත්වයක් නම් මතුවූයේ නැත.

එසේ වුවද එකිනෙකාට චෝදනා කරගත් නිසා එම විනාඩි 5 තුළ යම් ඝෝෂාකාරී තත්ත්වයක් නම් ඇති විය.

හරියට දහවල් 1.00ට පාර්ලිමේන්තුව රැස්වූ අතර සභාව ආරම්භ වූයේ ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙනි.

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමෙන් පසුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත්කළ යුතු බවට නියෝජ්‍ය කථානායකවරයා යෝජනා කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව 23 වැනිදා පෙරවරු 10.00 දක්වා කල්තැබීමට නියෝජ්‍ය කථානායකවරයා සූදානම් විය.
ඒ සමඟම නැඟීසිටි එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ 14, 15, 16 යන දිනවලදී ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන් මැතිසබය තුළ රාජ්‍ය දේපළ විනාශ කරමින් හැසිරුණු බවයි.

ඔවුන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල විසින් නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.

එය කථානායක කරු ජයසූරිය මහතාගේ අවධානයට යොමුකරන බව නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍ය ආසනයේ අසුන්ගෙන සිටි අතර රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා විරුද්ධ පක්ෂයේ ඉදිරිපෙළ අසුනක අසුන්ගෙන සිටියේය. ඒ මීට පෙර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අසුන්ගෙන සිටි ආසනයේය.

රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාට තම අග්‍රාමාත්‍ය ධුරය අහිමිවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ සභාගර්භයට නොපැමිණි අවස්ථාවලදී දිගටම අසුන් ගන්නේ විපක්ෂයේ සිවුවැනි පේළියේය. හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම සිදුවීම්වලින් අනතුරුව මැතිසබය තුළ විපක්ෂයේ ඉදිරිපෙළ අසුනක ඊයේ දිනයේ අසුන් ගත්තේ පළමු වතාවටය.

මේ අතර නැඟී සිටි පාර්ලිමේන්තුවේ සභානායක මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පිහිටුවනවා නම් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව අනිවාර්යෙන්ම එහි බහුතරය ආණ්ඩු පක්ෂයට හිමිවිය යුතු බවයි.

මංගල සමරවීර මන්ත්‍රිවරයා නැඟිට මෙහිදී කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) වගන්තියට අනුව මේ වෙලාවේ රජයක් නොමැති බවයි.

ඒ සමඟම එස්.බී. දිසානායක අමාත්‍යවරයා නැඟී සිටිමින් ප්‍රකාශ කළේ මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු තෙරීම් කාරක සභාවක් පත්කළ නොහැකි බවයි.

ඒ සමඟම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක නැඟී සිටියේය.

"14 වැනිදා මේ පාර්ලිමේන්තුවේදී අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත වුණා. ඒක 15 වැනිදා එම කථානායකතුමා නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කළා." යනුවෙන් අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
මේ සමඟම ආණ්ඩු පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් අනුර කුමාර දිසානායකට එල්ල වූයේ දැඩි විරෝධතාවකි.
"බහුතරයක් නැති ආණ්ඩුක් කොහොමද තේරීම් කාරක සභාවේ බහුතරය ඉල්ලා සිටින්නේ. ඒක නිසා බහුතරය හිමිවෙන්න ඕන ඒ ඒ දේශපාලන පක්ෂ නියෝජනය කරනු ලබන පිළිවෙළටයි." යනුවෙන් අනුර කුමාර දිසානායක කියා සිටියේය.
මැතිසබය රැස්වී විනාඩි 5කින් පමණ පසුව සභාව 23 වැනි දක්වා කල් තැබීමට නියෝජ්‍ය කථානායක අනන්ද කුමාරසිරි තීරණය කළේය.

මේ අතර මැතිසබය අවසන් වුවද ටික වේලාවක් යනතුරු ආණ්ඩු පක්ෂයෙත් විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් මැතිසබය තුළ දක්නට ලැබිණි.

මැතිසබය මැදට පැමිණි උදය ගම්මන්පිල අමාත්‍යවරයා සමඟ රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, රවි කරුණානායක ඇතුළු පිරිසක් කතාබස් කරන්නට වූහ.

"මේ අර්බුදය ඉවරයක් කරගන්න පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යමු නේද?" උදය ගම්මන්පිල කතාවට මුල පිරුවේය.

"ඔයගොල්ලන්ගේ ආණ්ඩුව තියෙද්දී යූ.එන්.පී. එක කැමැති වෙන්නේ නැහැ ඡන්දෙකට යන්න." රාවුෆ් හකීම් ඊට ප්‍රතිචාර දැක්වීය.

"එහෙනම් ඉතිං හැමෝම ඉන්න භාරකාර ආණ්ඩුවකට ගිහිල්ලා මහ ඡන්දයකට යමු" උදය ගම්මන්පිල යෝජනා කළේය.

"එහෙනම් ඒ ගැන කතා කරගනිමු. එතකෙට අගමැති කවුද" රවුෆ් හකීම් වමසීය.

"ඒකත් කතාකරලා බේරගමු" උදය ගම්මන්පිල කීවේය.

"රවි මොකද කියන්නේ" උදය ගම්මන්පිල රවි කරුණානායකගෙන් විමසීය.
"ආණ්ඩුව අපිට දෙන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඡන්දයකට යන්නේ 2020 ආගෝස්තුවල" රවි කරුණානායක කීවේය.

"අයියෝ ඔහොම ඡන්දවලට බයවෙන්න එපා. රටේ පොදු මහජනතාවට තීරණයක් ගන්න ඉඩ දෙන්න." උදය ගම්මන්පිල ප්‍රකාශ කිරීමත් සමඟම එම කතාබහ අවසන් විය.

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon