මිලාද් උන් නබි දින සුබ පැතුම් පණිවුඩ

  👤  2144 readers have read this article !
By mawbima 2018-11-20

නබිතුමාගේ දර්ශනය

සියලුදෙනාටම පරමාදර්ශයක් - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

"සියලු සත්ත්වයනට ආදරය දැක්වීමේ නබිතුමාණන්ගේ දර්ශනය සෑම දෙනකුගේම දෛනික ජීවිතයේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකත්වය සැපයීමට හේතු වේවා"යි අදට යෙදී ඇති නබිතුමාගේ ජන්මෝත්සව දින සුබපැතුම් පණිවුඩය නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ශුද්ධ වූ කුරානයට අනුව විශ්වයේ ඇති සෑම වස්තුවක්ම මවා ඇත්තේ යම් අරමුණක් උදෙසාය.

මිනිසා මවා ඇත්තේද යම් අරමුණක් ඉටු කිරීම පිණිසය. ඒ අරමුණ ඉෂ්ටප්‍රාප්ත කිරීමට කලින් කලට පත් කළ නබිවරුන් අතුරෙන් අවසන් වරට මෙලොවට පැමිණි නබිවරයා මුහම්මද් නබිතුමාණෝය. එතුමාගේ ඉගැන්වීම වූයේ කිසිදු පුද්ගලයකු තවත් පුද්ගලයකුට වඩා ජාතිය, කුලය, වර්ණය අනුව උසස් වන්නේද පහත් වන්නේද නැති බවයි. සෑම මිනිසකුටම සමාන අයිතියක් ලැබිය යුතු බව නබිතුමාණෝ දේශනා කළහ.

ගැහැනු ළමයකුගේ උපත ශාපයක් ලෙස සැලකූ යුගයක මුග්ධ ජනයා විසින් බිලිඳියන් උපන් පසු පණ පිටින් වළලා දමන ලදී. එහෙත් වැඩි කල් නොගොස් කාන්තාවන්ගේ ජීවන අයිතිය දිනාදීමට නබිතුමාණන්ට හැකි විය.


මුළු ජීවිතය පුරා වහල් ජනයාගේ නිදහස වෙනුවෙන් කටයුතු කළ නබිතුමා සූරාකෑමට එරෙහි විය. දහදිය වේළෙන්නට පෙර කම්කරුවන්ට හිමි වේතන අඩු නොකොට ලබාදිය යුතු යැයි එතුමා කීය.

ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකි ගුණාංග හා මිනිසත් බව වෙනුවෙන් කළ කැප කිරීම් එකිනෙකා අතර භේදය හා වෛරය වගා දිගා වූ මෙකල අප සියල්ලන්ගේ පරමාදර්ශයට යෝග්‍යය.

ශ්‍රී ලංකේය මුස්ලිම් සහෝදර ජනතාවට මෙන්ම ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ටද මාගේ ගෞරවය හා ප්‍රණාමය පළ කරමි.

ලෝකයේ සියලු ඉස්ලාම් බැතිමතුන්ට ශුභාශිංසන පිරිනමනවා-අගමැති මහින්ද රාජපක්‍ෂ

ශුද්ධවූ මොහොමඩ් නබිතුමාගේ උපන් දින සංවත්සරය සමරන සියලුම ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට තම උණුසුම් ශුභාශිංසන එක් කරන බව නබිනායකතුමාගේ උපන් දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.

නබිනායකතුමාගේ උපන් දිනයේදී ශ්‍රී ලංකාවාසී ඉස්ලාමීය බැතිමතුන් ආගමික වතාවත්වල යෙදෙමින් දුප්පතුන්ට පිහිට වෙමින් එම දිනය සමරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

විශේෂ නිවේදනයක් මඟින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ලෝකයේ ඉස්ලාමීය රටවල් ජාත්‍යන්තර සංවිධාන තුළ කවදත් ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව සහයෝගය දක්වා ඇති බවත්, එම සහයෝගයට කෘතඥතාව ප්‍රකාශ කිරීමටත් එම රටවල සියලුම ඉස්ලාමීය බැතිමතුන් වෙත සුබපැතුම් එක් කිරීමටත් කැමැති බවය.

නබි නායකතුමාගේ
ජීවිතාදර්ශයට අනුකූලව
කටයුතු කරමු - එජාප නායක රනිල් වික්‍රමසිංහ

යහපාලන රජය බලයට පත්වී ගෙවුණු තෙවසර තුළ අප දිනාගත් ප්‍රජාතන්ත්‍රීය හිමිකම්, මානව නිදහස හා මානව ගරුත්වය විනාශ කර දමමින් දේශය වළ පල්ලට ඇද දමන දරුණු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන මේ මොහොතේ අප කටයුතු කළ යුතුව ඇත්තේ නබි නායකතුමාණන්ගේ ජීවිතාදර්ශයට අනුකූලව යැයි අදට යෙදී ඇති මිලාද්-උන්-නබි උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එම පණිවුඩයේ මෙසේද සඳහන් වෙයි.

ආගමික, වාර්ගික, කුල මල, පන්ති, පාට ආදී වශයෙන් නොයෙක් ආකාර බෙදීම්වල ගොදුරු බවට පත් වී ඇති වත්මන් සමාජයට මුහම්මද් නබි නායකතුමන්ගේ ජීවිතයෙන් උගත හැකි පාඩම් බොහෝය. එතුමා ධර්මය ප්‍රායෝගිකව ජීවත් කරවූ සරල, අල්පේච්ඡ, යහපත් දිවි පැවැත්මක් සහිත, සාමාන්‍ය මිනිසුන් අතර සාමාන්‍ය මිනිසකු ලෙස දිවිගෙවූ උතුම් ශාස්තෘවරයෙකි.

පරම්පරා ගණනාවක් ගෝත්‍රික වශයෙන් බෙදී වෙන් වී ගැටුම්කාරී තත්ත්වයන් පැවැති මැදපෙරදිග ජන සමාජය තුළ ධාර්මික පාලනයක් ඇති කිරීමට හේතු වූයේ මුහම්මද් නබි නායකතුමාගේ ජීවන දර්ශනය සහ ධාර්මික පිළිවෙත්ය. ඉස්ලාම් දහම අනුව එතුමා දෙවියන් වහන්සේගේ ප්‍රසාදය දිනාගත් අවසාන නබිතුමාණන් ලෙස සැලකේ.

එකී උත්තරීතර වගකීම අත්නොහරිමින් මේ මොහොතේ ශිෂ්ටසම්පන්න සමාජයක්, සාමකාමී දේශයක් වෙනුවෙන් පෙනී සිටින සමස්ත මුස්ලිම් ප්‍රජාව වෙත මාගේ ගෞරවනීය ප්‍රණාමය පුදකරමි. ඔබ අප වෙත තැබූ විශ්වාසය සුරැකීමට රජය ලෙස මෙන්ම එක්සත් ජාතික පෙරමුණ ලෙසද අප දිවි හිමියෙන් කැප වන බව ප්‍රකාශ කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.

ශ්‍රී ලංකාවාසී සහෝදර මුස්ලිම් බැතිමතුන් ඇතුළු සකල ලෝකවාදී මුස්ලිම් ජනතාවට සුබ මිලාදුන් නබි උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon