ජනපති සිහිනය යළි සැබෑ කර ගැනීමට මෛත්‍රිපාල සිරිසේන අලුත් දීගයක් අරඹා තිබෙනවා

  👤  2243 readers have read this article !
By mawbima 2018-11-20

ජේ.ටී. ද සිල්වා

රුචිර දිලාන් මධුශංඛ

'මෛත්‍රිපාල සිරිසේන ජනපති සිහිනය යළි සැබෑ කරගැනීමට අලුත් දීගයක් අරඹා තිබෙනවා' යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවැසීය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා එසේ පැවැසීය.

එම සාකච්ඡාවේදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

'රටේ බලහත්කාරී ආණ්ඩුවක් ගොඩනැඟුණා. ඒ ආණ්ඩුවට අද බහුතරය නැහැ. බලහත්කාරී ආණ්ඩුවට බහුතරය නැති නිසා රටේ අරාජික තත්ත්වයක් ඇති වුණා. ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනා දෙකක් සම්මත වුණා. ඒ අනුව ජනපති කළයුතුව තිබුණේ නව අගමැතිවරයකු නව ආණ්ඩුවක් පත්කර ගැනීමයි.'

'ඔහු ඒක කළේ නැහැ. සියලු ගැටුම් නිර්මාණය වුණේ ජනාධිපති ගත්ත මේ තීරණය නිසායි. දෙදෙනකුගේ බල අරගලය නිසා රට අරාජික තත්ත්වයට පත්වුණා.'

'ස්ථාවර කාරක සභාව පත්කරන්න ඕන පාර්ලිමේන්තු සංයුතිය අනුවයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිව තේරීම් කාරක සභාවේ බහුතරය ආණ්ඩුවට අත්පත්කරදීම වැරැදියි. ඒක සාධාරණ නැහැ. පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය මේ අයට කරන්න බැහැ. මේ කල්ලිය පාර්ලිමේන්තුවේ බලයට පරිබාහිර කටයුතු සඳහා මේ බලය අටවා ගත්තා. ඝාතන පරීක්ෂණ යටපත් කිරීම සඳහා මේ බලය පවරා ගත්තා. පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා හදිසියේම මාරු කළේ ඒ සඳහායි. අපරාධකරුවන් අද නීතිපති දෙපාර්තමේන්තුවත් අත්පත්කරගෙන තිබෙනවා.'

'අගමැති කාර්යාලයට වෙන් කර ඇති මුදල් අත්හිටුවීමට අපි යෝජනාවක් ගේනවා. ලබන 29 වැනිදා ඒ යෝජනාව සලකා බලන්න කථානායකතුමා තීරණය කර තිබෙනවා. ලබන 29 වැනිදා විශ්වාසභංග යෝජනාව නමින් නමට ඡන්ද ගන්න බලාපොරොත්තු වෙනවා. එයාලට බහුතරය නැත්නම්, පරාජය භාරගන්න ඕන.

'ජනාධිපතිට මුදල් වෙන් කරන්නෙත් පාර්ලිමේන්තුවයි. අගමැති හා ඇමැති නියෝග මත මුදල් අමාත්‍යාංශයට මුදල් වෙන් කිරීමක් කළ නොහැකියි.'

'රනිල් වික්‍රමසිංහත් අද අගමැති නොවෙයි. එයත් අරලියගහ මන්දිරයෙන් යන්න ඕනෑ. රනිලුත්, මහින්දත් මන්ත්‍රිවරු පමණයි. මහින්ද ඊයේ හෙලිකොප්ටරයක් පාවිච්චි කළා. ඒවාත් නතර කරන්න ඕන.'

'මැතිසබයේදී පොලිස් නිලධාරීන්ට එල්ලකළ මිරිස් කුඩු ප්‍රහාරය අපි හෙළා දකිනවා. එය ම්ලේච්ඡ ප්‍රහාරයක්. මෙවැනි පිරිසකට මරණාධාර සමිතියකවත් සභාපති කමක් දීම සුදුසු නැහැ.'

විජිත හේරත් මහතා,
'මිරිස් කුඩු ගැහුවෙ නැහැ කියලා එස්.බී. දිසානායක කියනවා. මන්ත්‍රිවරුන්ට මිරිස් කුඩු ගහනවා අපි දැක්කා. ගැලරියේ හිටපු පිරිසක් මිරිස්කුඩු ගැහුවා කියලා බන්දුල කියනවා. මිරිස් කුඩු ගහපු බව ඉන් තහවුරු වුණා. ගැහුවෙ කවුද කියලා මුළු රටම දැක්කා.'

බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස, නිහාල් ගලප්පත්ති යන මන්ත්‍රිවරු මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon