එජාපෙට වඩා එජනිසට පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් තිබෙන බව සර්වපාක්ෂික සමුළුවේදී ඔප්පු වුණා

  👤  2204 readers have read this article !
By mawbima 2018-11-20

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

එක්සත් ජාතික පෙරමුණට වඩා එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුව තුළ වැඩි මන්ත්‍රි ආසන තිබෙන බවත් එය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික සමුළුවේදී ඔප්පු වූ බවත් පාර්ලිමේන්තුවේ සභානායක මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. එක්සත් ජනතා නිදහස් සන්ධානය මඟින් මෙම මාධ්‍ය හමුව සංවිධාන කර තිබිණි.
"දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හැරුණු විට එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුව තුළ තිබෙන මන්ත්‍රිධුර සංඛ්‍යාවට වඩා එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රිධුර තිබෙනවා.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත්කිරීමට නීති විරෝධී පක්ෂ නායක රැස්වීමක් කැඳවා කථානායක කරුණාරත්න ජයසූරිය මහතා යෝජනා කර තිබෙනවා.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරනවා නම් එය කළ යුත්තේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුවයි. තේරීම් කාරක සභාවක් පත්කරනවා නම් එහි බහුතරය ආණ්ඩු පක්ෂයට අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.
වර්තමාන ආණ්ඩුවට මුදල් වියදම් කිරීමට තිබෙන හැකියාව කපා හරින්න යෝජනාවක් කථානායකතුමාට භාරදෙන්න විපක්ෂය තීරණය කරලා තියෙනවා. මුදල් සම්බන්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන්න පුළුවන් වෙන්නේ ආණ්ඩු පක්ෂයට පමණයි. මොකක්ද මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට කරන්න යන විහිළුව.

නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනි ආකාරයෙන් කිසිදු යෝජනාවක් ගේන්න බැහැ. එසේ ගෙන එනු ලබන ඕනෑම යෝජනාවකට නීත්‍යනුකූලභාවයක් නැහැ" යනුවෙන්ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වූ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරය බලහත්කාරයෙන් අත්පත් කරගන්නා විට කරු ජයසූරිය කථානායකවරයා ව්‍යවස්ථාදායකය අත්පත් කරගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

"එක්සත් ජාතික පක්ෂයේ බල කඳවුර බවට අරලියගහ මන්දිරය සහ ව්‍යවස්ථාදායකය පත්කරගන්න උත්සාහ කරමින් සිටිනවා. ඔවුන්ගේ තිබෙන බල පෙරේතකම මෙමඟින් මොනවට පෙන්නුම් කරනු ලබනවා.

සම්ප්‍රදායට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පයින් ගහලා කරුමයා අද රට අරාජික කරන්න කටයුතු කරනවා. විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ගැටුම හදන්න මූලිකව ක්‍රියාකරන්නේ කථානායක.

අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පිළිඅරගෙන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව කථානායක කටයුතු කළ යුතුයි. ආණ්ඩු පක්ෂය කථානායක පිළිගන්නේ නැත්නම් විපක්ෂයකුත් නැහැ. නීති විරෝධී ලෙස කථානායක ලබාදෙන උපදෙස් පිළිගන්න කිසිම කෙනකු බැඳිලා නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදය ගණිකා වෘත්තියේ යෙදවීමට සුමන්තිරන්ලා හා රතු අලි පැටව් අද කටයුතු කරමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ රස්සාව නැතිවෙනවාට වැඩියෙන්ම කලබල වෙලා තියෙන්නේ ටී.එන්.ඒ. කට්ටියයි රතු අලි පැටවුනුයි විතරයි.

ඒ වගේම බටහිර රටවල්, තානාපති කාර්යාල 3ක් 4ක් පමණ රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිකම නැතිවෙනවාට බයවෙලා. ඒ තානාපති කාර්යාල රනිල් වික්‍රමසිංහ මහතාගේ රස්සාව නැතිවෙනවාට බයවෙලා තියෙන්නේ ඇයි?
ඒ රටවල න්‍යාය පත්‍රය අනුව තමයි රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන්නේ. අපේ රටේ න්‍යාය පත්‍රය අනුව කටයුතු නොකරන නිසා එම රටවල් 3,4ක තානාපති කාර්යාල රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටිනවා.

මේ වනවිට ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව සෙල්ලම් මඩුවක් බවට පත්කිරීමට කථානායක කටයුතු කර තිබෙනවා.

අරලියගහ මන්දිරයේ බුරුවා ගහන කට්ටිය හිතාගෙන ඉන්නේ පාර්ලිමේන්තුවත් බූරුවා ගහන සූදු පිටියක් කියලායි" යනුවෙන්ද අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තේ ප්‍රධාන අරමුණු දෙකක් වෙනුවෙන් පමණක් බවයි.

රාජපක්ෂවරුන්ට දේශපාලනය තහනම් කිරීමට සහ රනිල් වික්‍රමසිංහ මහතාට බලතල වැඩිකිරීමට තමයි 19 වැනි ආණ්ඩුවට ව්‍යවස්ථාව ගෙන ආවේ.

"රාජපක්ෂවරුන්ට එරෙහිව එකම එක කරුණක් තමයි ඔවුන්ට ගෙන එන්න බැරිවුණේ. ඒ හිටපු කථානායකවරුන්ට ජනාධිපතිවරණයට තරග කරන්න නොහැකියි කියන කාරණය තමයි එක්සත් ජාතික පක්ෂයට ගෙන ඒමට නොහැකි වුණේ.

ස්ථාවර නියෝග අත්හිටුවලා නීති විරෝධී ආකාරයට ගෙනැවිත් ශබ්දය අනුව විශ්වාසභංග යෝජනාව සමම්ත වුණා කියලා කථානායක කියනවා.

කථානායක කරු ජයසූරිය මැතිතුමා ක්‍රිකට් විනිසුරුවකු වුණා නම් ශබ්දය අනුව තීරණය ලබා දීලා ලෝක වාර්තා තබන ක්‍රිකට් විනිසුරුවකු බවට පත්වෙනවා.

වැඩියෙන්ම කෑගසන ක්‍රීඩකයන් ඉන්න කණ්ඩායමට කරු ජයසූරිය විනිසුරුතුමා ජයග්‍රහණ ලබාදේවි.

පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා ස්ථාවර නියෝගවලට පටහැනි ආකාරයෙන් කථානායක කරු ජයසූරිය මහතා ක්‍රියා කිරීම ගැන අන්තර් පාර්ලිමේන්තු සංගමයටත්, පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයටත් පැමිණිලි කිරීමට කඩිනමින් කටයුතු කරනවා.

විශ්වාසභංග යෝජනාව නීති විරෝධී ලෙස කෙතරම් කඩිනමින් ඉදිරිපත් කළාද කියනවා නම් ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් සහෝදරයා කඩදාසි කිහිපයක් අරගෙන දිව්වේ හරියට සුසන්තිකා ජයසිංහ වගේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon