ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමත් අවසන් පූර්ව වටයට

  👤  2100 readers have read this article !
By mawbima 2018-11-20

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන එෆ්.ඒ. කුසලාන පිළිමලුන් පිටුදැකීමේ පාපන්දු ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම හා රිනවුන් කණ්ඩායම අතර පැවැති සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගය ගෝල රහිතව නිමාවීමත් සමඟ දඬුවම් පහර 3-1ක ජයක් හිමි කරගත් ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම් ලබාගත්තේය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගය ආරම්භයේ පටන් වර්ෂාවෙන්් බාධා එල්ල වූ අතර පළමු භාගයේ දෙපිලම ගෝල ලබාගැනීමට උත්සාහ කළද එම අවස්ථා ව්‍යර්ථ විය. ගෝල රහිතව ආරම්භ වූ දෙවැනි අර්ධයේදී ද කිසිදු ගෝලයක් වාර්තා නොවූ අතර 82 වැනි මිනිත්තුවේදී රිනවුන් පාපන්දු කණ්ඩායමට නිදහස් පහරක් මඟින් ගෝලයක් ලබාගැනීමට ආසන්න අවස්ථාවක් හිමි වුවද එම අවස්ථාව සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි විය.

තවද දඬුවම් පහර අවස්ථාවලදී ඉතා දක්ෂ ලෙස අවස්ථා දෙකක් වළකාලන්නට පොලිස් කණ්ඩායමේ දැල් රකින ක්‍රීඩක මහේන්ද්‍රන් දිනේෂ් සමත් වූ අතර චතුර ගුණරත්න, නිලන්ත පතිරණ සහ ඉෂාන් ධනුෂ පොලිස් කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහර සාර්ථක කරගැනීමට සමත් වූහ.

ඒ අනුව මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා පොලිස්, සෝන්ඩර්ස්, ශ්‍රී ලංකා යුද හමුදා සහ කලම්බු එෆ්.සී. කණ්ඩායම් ශූරතාව වෙනුවෙන් තරග වදිනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon