චන්දිමාල්ට කොළඹ තරගයත් අවිනිශ්චිතයි

  👤  2118 readers have read this article !
By mawbima 2018-11-20

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගය අතුරතුරදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එංගලන්තය සමඟින් කොළඹදී පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයට සහභාගිවීමේ අවස්ථාව අවිනිශ්චිත තත්ත්වයක පවතින බව "මව්බිම"ට වාර්තා වේ.

ඉකිලිය ප්‍රදේශයේ හටගත් මෙම ආබාධය හේතුවෙන් චන්දිමාල්ට දෙරට අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පසුගියදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා-එංගලන්ත දෙවැනි තරගයටද ක්‍රීඩා කිරීමටද නොහැකි වූ අතර, මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුරංග ලක්මාල්ට හිමි වී තිබිණි.

කෙසේ වෙතත් ඊයේ දිනේෂ් චන්දිමාල් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකට මුහුණ දී තිබූ අතර, එහිදී චන්දිමාල් පූර්ණ ශාරීරික යෝග්‍යතාවක් නොපෙන්වූ බවද දැනගන්නට ඇත. "චන්දිමාල් 70%ක පමණ ශාරීරික යෝග්‍යතාවක් පමණක් පෙන්නුම් කරලා තියෙන බව දැනගන්නට ලැබුණා. මේ නිසා ඔහුට තවත් යෝග්‍යතා පරීක්‍ෂණයකට මුහුණ දෙන්න සිදුවේවි. ඒත් තවම එම පරීක්‍ෂණයේ ලිඛිත වාර්තාව ලැබුණේ නැහැ" යනුවෙන් මේ පිළිබඳව "මව්බිම" කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක අෑෂ්ලි ද සිල්වා මහතා පැවැසීය.

ඒ අනුව 23 වැනිදා සිට කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයට චන්දිමාල් සහභාගි වනවාද නැද්ද යන අවසන් තීරණය ගැනීම සඳහා ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය මෙම දින දෙක-තුන ඇතුළත සිදුවනු ඇතැයිද පැවැසේ.

මේ අතර යම් හෙයකින් දිනේෂ් චන්දිමාල්ට තෙවැනි තරගයටත් ක්‍රීඩා කිරීමට අවකාශය නොලැබුණහොත් දෙවැනි ටෙස්ට් තරගය මෙහෙයවූ සුරංග ලක්මාල් තෙවැනි ටෙස්ට් තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon