ජනාධිපතිධුරය අහෝසි කරලා කුඹුරු හාන්න යනව කිව්ව ජනාධිපති අද රටම හානවා

  👤  2206 readers have read this article !
By mawbima 2018-11-20

'විධායක ජනාධිපති පුටුවට පත්වෙලා අවුරුදු පහක් ගිය තැන ඒක අහෝසි කරලා පොළොන්නරුවට ගිහිල්ලා කුඹුරු හානවා කියපු මෛත්‍රිපාල සිරිසේන මහත්තයා කොළඹ ඉඳගෙන දැන් රටම හානවා' යැයි ජ.වි.පෙ. මධම කාරක සභික කළුතර දිස්ත්‍රික් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිදා බණ්ඩාරගමදී කීවේය.

බණ්ඩාරගම, වෑවිට ප්‍රදේශයේ පක්‍ෂ ක්‍රියාකාරීන් හා පළාත් පාලන ආයතන නියෝජිතයන් හමුවක් අමතා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ කීවේය.

'එක එක අයට සිහින තියෙන්න පුළුවන්. නමුත් එක් අයකුගේ සිහිනයක් නිසා කෝටි දෙකක ජනතාවක් පීඩාවට පත්වෙන්න ඉඩ දෙන්න බැහැ. අද මේ රට මේ තරම් පහත් තත්ත්වයට ඇදවැටී තිබෙන්නේ, මෙතරම් අවුලක් ඇතිවෙලා තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයගෙ ජනාධිපති හීනය නිසයි.

මේ ප්‍රශ්නයට විසඳුම් දිය හැක්කේ ප්‍රශ්නය ඇති කළ කෙනාටමයි. පාර්ලිමේන්තුවේ බහුතරයෙන් දෙවරක් සම්මත වූ විශ්වාසභංග යෝජනාව පිළිගෙන නව අගමැතිවරයකු හා කැබිනට් මණ්ඩලයක් පත් කළ යුතුයි. ආණ්ඩුවට සැබෑ බහුතරය පාර්ලිමේන්තුවේ පෙන්විය හැකි නම් ඒ ආණ්ඩුව රට පිළිගනීවි.

මේ කරපු අවුලේ ප්‍රතිඵල රටට පේන්නේ අද හෙට නෙවෙයි. අනාගතයේදීයි. දැනටමත් ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය තකන්නෙ නැති ම්ලේච්ඡ රටක් ලෙස ලෝකය පුරා හංවඩු ගැසී හමාරයි. සිරිසේන ආචාරියා එක් කඩතොල්ලක් වසාගන්න තව කඩතොල්ලක් හදනවා. ඊළඟට තව එකක්. රටට හතුරු විදේශ බලවේගවලට මේක හොඳ අවස්ථාවක් වෙලා තිබෙනවා.

ලංකාවේ පාර්ලිමේන්තුව ඇතුළෙ රාජපක්‍ෂලා හැසිරෙන්නෙ මෙහෙම නම් මාධ්‍ය කැමරා, පොලිසිය, හමුදා නැති පාර්ලිමේන්තුවෙන් පිටතදී සාමාන්‍ය ජනතාව ඉදිරියේදී මේ අය පසුගිය කාලයේ හැසිරුණු හැටි ගැන තවත් අටුවා ටීකා අවශ්‍ය නැහැ. සිරිසේන - මහින්ද හවුලෙ ප්‍රජාතන්ත්‍රවාදය පසුගිය 26 වැනිදා රාත්‍රි ඉඳලා අපි දකිනවා. රටේ ජනාධිපති නීති කඩනකොට, ප්‍රසන්න රණවීරලා, ජොන්ස්ටන් ප්‍රනාන්දුලා ගැන කවර කතාද? තමන්ට ඕනම උදව්වක් කරන, උදේ හවස සැලියුට් ගහන, නිතර දෙවේලේ හමුවන, පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන්ගේ ඇස්වලට මිරිස් කුඩු ගැහුවා. පුටු කකුල්වලින් ගැහුවා. ව්‍යවස්ථාව, අය-වැය පොත්වලින් ගැහැව්වා.

මේ අයට තව දුරටත් උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රිවරුන් කියලා කියන්න පුළුවන්ද? උෟරු කොටුවක උෟරෝ මීට වඩා හොඳින් හැසිරෙනවා. පාර්ලිමේන්තුවේ ඇතුළට බටර් පිහි ගෙනාවා. ඒක වැරැදියි. එහෙම ගෙනා අය පිළිබඳ විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒක පොලිසියේ වැඩක්. පොලිසිය භාර ඇමැති ජනාධිපතිතුමයි. පිහි ගෙනාව අය අත්අඩංගුවට ගන්න කියලා කථානායකවරයාගේ බෙල්ල මිරිකලා වැඩක් නැහැ. මේ දේශපාලනඥයන් කවුද කියලා අපි දන්නවා. එතනෝල් කන්ටේනර් ගණන් රේගුවෙන් පන්නපු, කුඩු විකුණපු, තාජුඩීන්ලා මරපු, එක්නැලිගොඩලා අතුරුදන් කළ, රතුපස්වල වෙඩි තියපු අයයි. මේ අයගෙන් විනයගරුක හැසිරීමක් අපේක්‍ෂා කරන්න බැහැ. ඒක හරියට ඉබ්බන්ගෙන් පිහාටු ගැනීමක් ගලෙන් පට්ටයක් ගැනීමක් වගේ වැඩක්.

ඔක්තෝබර් 26 වැනිදා රාත්‍රි සිට මේ දක්වා සිදුවන මේ ක්‍රියාමාර්ගය අනුමත කරන එකට හුරේ දාන කොටසකුත් මේ රටේ ඉන්නවා. මේ නාඩගම් අනුමත කරන ජනතාවක් සමඟ රටක් ඉදිරියට යන්න බැහැ. මුලින්ම රටේ ජනතාව මේ තුච්ඡ වැඩ ප්‍රතික්ෂේප කළ යුතුයි.

පාර්ලිමේන්තුවට උගතුන් යැවිය යුතුයි කියන එකත් මේ අයගේ හැසිරීමෙන් බින්දුවටම වැටුණා. නීතිඥයෝ, විශේෂඥ වෛද්‍යවරු, උපාධිධාරීන් වුණත් ඉන්නේ මොන ගොඩේද කියන එක අනුව ඔවුන්ගෙ හැසිරීමත් තීරණය වෙනවා. නරක ආශ්‍රය වැටුණාම ප්‍රසන්න රණවීරගේ හැසිරීමත් විශේෂඥ වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ නෝනගෙ හැසිරීමත් අතර වෙනසක් නැහැ. ජොන්ස්ටන්ගෙයි, නිරෝෂන්ගෙයි හැසිරීමෙත් වෙනසක් නැහැ. හොඳ මිනිස්සු පාර්ලිමේන්තු යැවිය යුත්තෙ ඔවුන්ගෙ හොඳ අනුව වැඩ කළ හැකි පක්‍ෂයකිනුයි.

පාර්ලිමේන්තුව ඇතුළෙ තමන්ගෙ කණ්ඩායම ජෝගි නටද්දී මහින්ද රාජපක්‍ෂ මහත්තයා එක ඇඟිල්ලක් උස්සලා ඒක නතර කළේ නැහැ. සිනා වෙවී ඒක අනුමත කළා. පාර්ලිමේන්තුවෙ තමන්ගෙ කණ්ඩායමේ විනය පවත්වාගෙන යන්න බැරි නායකයකු රටේ විනයක් හදයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. එවන් රටක දරුවන්ට හොඳ රටක් ඇතිවේවි යැයි කියලා සිහින මවන්න එපා.'

මතුගම - වසන්ත කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon