සැබෑ දේශපාලනඥයකු නම් විනය මනුෂ්‍යත්වය සදාචාරය ඔහු තුළ තිබිය යුතුයි

  👤  2188 readers have read this article !
By mawbima 2018-11-20

දේශපාලනය කරන සෑම කෙනකුම දේශපාලනඥයා යනුවෙන් අදහස් කළද සැබෑ දේශපාලනඥයා කවුරුන්ද යන්න ජනතාව මේ වන විට හඳුනාගෙන ඇතැයි තමා විශ්වාස කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

2018 වසරේදී විද්‍යාත්මක ප්‍රකාශන සඳහා තෝරාගත් 120 දෙනකුට පමණ සම්මාන ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

මේ විද්‍යාත්මක පර්යේෂණ සභාව විසින් කරන මෙහෙවර අප ඉතාමත් අගය කරනවා. ඒ වගේම මේ කරන වැඩපිළිවෙළ පුළුල් කිරීමේ අවශ්‍යතාව අප දකිනවා.

මේ විද්‍යාත්මක, පර්යේෂණ ක්‍ෂේත්‍රය සඳහා අපේ රටේ අය - වැයෙන් වෙන් කරන මුදල් ප්‍රමාණවත් නෑ. ලෝකයේ ඇතැම් රටවල ජාතික ආදායමෙන් 25%කට වඩා පර්යේෂණ සඳහා වෙන් කරනවා.

රජයේ ආර්ථික විශේෂඥයන්ට උපදෙස් දෙනවා. මේ පර්යේෂණ සඳහා වෙන් කරන මුදල් වාර්ෂිකව වැඩි කිරීම අත්‍යවශ්‍යයි කියලා. ජාතික විද්‍යා පර්යේෂණ සභාව සම්මාන පුද කරමින් අගය කරන්නේ ශ්‍රී ලාංකිකයන් පමණක් නෙවෙයි.

අන්තර්ජාතිකවත් ඇගයීමට, සම්මානයට පාත්‍ර වෙනවා.

දේශපාලනඥයන් හා විද්‍යාඥයන් අතර තිබෙන්නා වූ වෙනස මේ කාලයේ හොඳට පැහැදිලිව දකිනවා. විද්‍යාඥයන්ගේ තිබෙන තැන්පත්කම, උගත්කම, පරිණත බව, සදාචාරාත්මක බව, විනයගරුක බව විද්‍යාඥයාගේ ප්‍රධාන කැඩපත බවට චරිත ලක්ෂණවලින් පෙන්නුම් කරනවා. දේශපාලනය කරන හැම කෙනෙක්ම දේශපාලනඥයා යන්නෙන් අදහස් කළත් දේශපාලනඥයා හා විද්‍යාඥයා අතර වෙනසේදී සැබෑ දේශපාලනඥයා කවුද කියා උගතුන් විද්වතුන් සහ පොදු ජනතාව තේරුම් ගෙන ඇතැයි මා විශ්වාස කරනවා.

අපේ රටේ ආර්ථිකයේ සහ විවිධ ක්‍ෂේත්‍රවල තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගත් විට ඔබ කරන මෙහෙවර අප ගෞරවයට ලක් කරනවා වගේම අපේ දැනට තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් මීට වඩා වැඩි අවධානයක් යොමු විය යුතුයි කියන යෝජනාව මම කරනවා. කාලගුණික හා දේශගුණික විපර්යාසයන් තුළ මුහුණ දෙන ආර්ථික හා සමාජ ප්‍රශ්න විසඳීම එහිදී වැදගත් වෙනවා. 1957 හෝ 1958 ආචාර්ය තෙන්නකෝන් ලියපු නියඟය සහ ගොවියා පොත මට මතක් වෙනවා. ඒ පර්යේෂණ ග්‍රන්ථයෙන් යෝජනා කර ඇති කිසිවක් කිසියම් හෝ රජයක් ක්‍රියාත්මක කර නැති බව මට වැටහුණා.

නියඟයක් ආ පසු ඊට මුහුණ දීමට සුබසාධන කටයුතු සැපයීමටයි අප පුරුදු වී සිටින්නේ. එහෙත් නියඟයක් ඇති වීමට පෙර ඒ සඳහා කෘෂිකාර්මික සැලසුම්, දෛනික ජීවිතයන්ට ගැළපෙන සැලසුම් යන කරුණු සම්බන්ධයෙන් ජාතික සැලසුම් සම්පාදනයේදී විශාල අඩුපාඩු තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් අපට වඩා කාලගුණික දේශගුණික විපර්යාසවලට බරපතළ විදියට මුහුණ දෙනවා. කාලගුණික, දේශගුණික විපර්යාසයන් තුළ ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික සැලසුම් ගැන කතා කරද්දී ගමේ ගොවියා යල මහ කන්න අනුවයි පුරුදු වී තිබෙන්නේ. ඉන් මිදෙන්න ගොවියාට මඟපෙන්වීමක් නැහැ. නමුත් කොතරම් නියඟයක් පැමිණියත් ගොවියා බලාපොරොත්තු වන්නේ ජලය. ඒ වගේම ජලය නිසි පරිදි නොලැබෙනවා නම් එය ඇතැම් විට දේශපාලන ප්‍රශ්නයක්. සමාජ ප්‍රශ්නයක් කරගනිමින් උද්ඝෝෂණවලට පෙලඹෙනවා. ගොවි ජනතාවගේ පැත්තෙන් එය සාධාරණයි කියා අප විශ්වාස කරනවා.

ඒ වගේම මෙවැනි තත්ත්වයන්ට මුහුණදීමේදී අප විසින් විද්‍යාඥයන්ගේ දැනුම හා පර්යේෂණ තුළ ඉහත කී අභියෝගයන්හිදී සාමාන්‍ය ගොවි ජනතාවට අවශ්‍ය ජල කළමනාකරණයට කෘෂි සැලැසුම් පිළිබඳ මීට වඩා මඟපෙන්වීමක් සිදු කිරීමට අවශ්‍යයි.

ඒ වගේම නව තාක්ෂණයත් සමඟ මෙවලම් නිසා ඇති වී තිබෙන සමාජමය ප්‍රශ්න ගැනත් අවධානය යොමු කළ යුතුයි.

පහන් විජේසේකර

ඡායා - දුමිදු වනිගසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon