හෙරොයින් ග්‍රෑම් දහයක් ළඟ තබාගත් පාසල් සිසුවාට මාසයක සිර දඬුවම්

  👤  2141 readers have read this article !
By mawbima 2018-11-20

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

හෙරොයින් ග්‍රෑම් දහයක් ළඟ තබාගෙන සිටි යාපනයේ පාසල් සිසුවකුට බරපතළ වැඩ ඇතිව මාසයක සිරදඬුවමක් යාපනය දිසා විනිසුරු සින්නතුරෙයි සදීස්වරන් මහතා විසින් ඊයේ (19දා) නියම කොට තිබේ.

මේ පාසල් සිසුවා යාපනයේ අච්චුවේලී ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ඉගෙනුම ලබන්නේද එම ප්‍රදේශයේම පාසලකය.

යාපනයේ අච්චුවේලි පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම සිසුවා පරීක්ෂා කළ අවස්ථාවේදී ඔහුගේ කලිසම් සක්කුවේ තිබී හෙරොයින් පැකැට්ටුව හමුවී තිබේ.

සිසුවා පොලිස් අත්අඩංගුවට පත්වන විටද සිට ඇත්තේ පාසල් නිල ඇඳුමිනි.

පොලිසිය ඔහුට එම හෙරොයින් පැකැට්ටුව ලැබුණු ආකාරය විමසා ඇතත් ඔහු පොලිසියට කිසිවක් ප්‍රකාශ කොට නොමැත.

සැකකාර සිසුවා යාපනය දිසා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයට දැනුම්දී සිටියේ මෙම සිසුවා වයස අවුරුදු 18ක සිසුවකු බැවිනුත් ඔහු හොරොයින් පානය කරන්නකු බවට පොලිසිය තහවුරු කොට නොමැති නිසාත් ඔහුගේ අනාගතය අඳුරු නොවන අන්දමේ තීන්දුවක් ලබා දෙන ලෙසයි.

මේ අවස්ථාවේදී විනිසුරුවරයා එම නඩුව කල් දමා විනිසුරුවරයාගේ නිල කාමරයට සිසුවා කැඳවා ඔහු සමඟ කතා කිරීමෙන් අනතුරුව විවෘත අධිකරණයේදී තීන්දුව ප්‍රකාශ කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon