හාරකෝටි තිස් ලක්ෂයක රන් බඩු තොගයක් නීතිවිරෝධීව ගෙන ආ සිංගප්පූරු ව්‍යාපාරිකයා මාට්ටු

  👤  2130 readers have read this article !
By mawbima 2018-11-20

කටුනායක - ගයා තිරිමාදුර

රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සිංගප්පූරුවේ සිට නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ එරට ගුවන් මගියකු පසුගියදා (17දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු 45 හැවිරිදි සිංගප්පූරු ජාතික ව්‍යාපාරිකයෙකි.

ඔහු 17දා අලුයම 2.30ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ සහ ඔහු හැඳ සිටි කලිසමේ සාක්කුවල අත් පලඳනා 229ක්, මාල 175ක්, තැල්ල සහිත උත්සව අවස්ථාවලදී පලඳින මාල 88ක්, වළලු 16ක් සහ පෙන්ඩන්ට් 6ක් සඟවා ගෙන තිබී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම ස්වර්ණාභරණ තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 7 ග්‍රෑම් 212ක් බවත් මෙය ගුවන් තොටුපොළ ඉතිහාසයේ සිදුකළ විශාලතම ස්වර්ණාභරණ වැටලීම බවත් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම සිංගප්පූරු ජාතිකයා මෙයට පෙර සිවු වතාවක් ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති බවත් ඔහු මෙම ස්වර්ණාභරණ තොගය සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කළ පුද්ගලයා බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ටී.සී.ඒ. ධනපාල මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon