සිඟිති දියණියගේ ජාන බද්ධයට මවුපියන් මහජන ආධාර පතයි

  👤  2218 readers have read this article !
By mawbima 2018-11-20

නාච්චාදුව -

කිත්සිරි වනසිංහ

ජාන බද්ධ සැත්කම සඳහා නවලෝක රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින මිහින්තලේ වෙල්ලාරගම පදිංචි අරුන්දි නවෝද්‍යා සේනාරත්න (05) දැරියට එම සැත්කම සඳහා හිඟව පවතින රුපියල් ලක්ෂ 12ක මුදල සොයා ගැනීම සඳහා මවුපියන් මහජන ආධාර පතයි.

තම එකම සිඟිති දියණියගේ ජාන බද්ධ සැත්කම සඳහා වන රුපියල් ලක්ෂ 33ක මුදලක් දැඩි පරිශ්‍රමයකින් සොයාගත් මවුපියෝ සැත්කම සඳහා වන රුපියල් ලක්ෂ 45ක මුදල සම්පූර්ණ කර ගැනීම සඳහා ඉතිරි රුපියල් ලක්ෂ 12 මුදල සොයා ගැනීමට නොහැකිව හැඬූ­ කඳුළින් පසුවෙති.

උපතේ සිට තැලසීමියා රෝගයෙන් පෙළෙන අවුරුදු පහක් වයසැති මිහින්තලේ වෙල්ලාරගම විදුහලේ පළමු ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන අරුන්දි නවෝද්‍යා සේනාරත්න දැරියට සැත්කම සිදු කිරීම සඳහා මවුපියන් මහජනතාවගේ ආධාර අපේක්ෂා කළ අතර මාධ්‍ය මඟින් මෙම පුවත පළ වූ පසු ඊට යහපත් ප්‍රතිචාර ලැබී යම් ප්‍රමාණයකින් මුදල් පරිත්‍යාග ලැබී තිබිණි.

ඉතිරි මුදල සම්පූර්ණ කර ගැනීම සඳහා ඔවුන් තමන් හා තම මවුපියන් සතු වූ ඉඩකඩම්ද මේ වනවිට විකුණා තිබේ. දැරියට මෙම සැත්කම සිදු කිරීම සඳහා පසුගිය ඔක්තෝබර් මස 29 වැනි දින සිට නවලෝක පෞද්ගලික රෝහලේ නේවාසික පූර්ව ප්‍රතිකාර සිදු කරනු ලබයි.

සැත්කම සඳහා ලියාපදිංචි වූ දිනය නියම වූ හෙයින් මෙලෙස රෝහල් ගත වුවද ඉතිරි මුදල සොයා ගැනීම ඔවුනට දැඩි අභියෝගයක්ව පවතී. සැත්කම හා අනෙකුත් ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ 45ක මුදලක් වැය වෙතැයි වෛද්‍යවරු ප්‍රකාශ කර තිබුණද ඇතැම් විට එම මුදල ඉක්මවා වැය වන්නට ඉඩ ඇතැයිද වෛද්‍යවරුන් පැවැසූ බව දැරියගේ මව වන ඉන්දිකා සමන්මලී නානායක්කාර මහත්මිය සඳහන් කළාය.

තම වැඩිමල් සහෝදරයාගෙන් ලබා ගන්නා ජාන අරුන්දිට බද්ධ කිරීමට නියමිත අතර ඇයගේ සහෝදරයා දැනට මිහින්තලේ අධ්‍යාපන කොට්ඨාසයට අයත් වෙල්ලාරගම විදුහලේ පස් වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබයි. ඔහු නමින් මාෂිත පවන් සේනාරත්නය.

දරුවන් තිදෙනකුගෙන් සමන්විත පවුලේ ළාබාල දියණිය අරුන්දි වන අතර ඇය සුවපත් කර ගැනීමට ආධාරයක් කළ හැකි අයකු වෙතොත් මිහින්තලේ ලංකා බැංකුවේ 75154111 දරන ගිණුමට හෝ මිහින්තලේ මහජන බැංකුවේ 220200280080054 ජේ. මහින්ද සේනාරත්න වන අරුන්දිගේ පියාගේ ගිණුමට ආධාර ලබාදෙන ලෙසත් 0710757689 දුරකථන අංකය අමතා තොරතුරු ලබාගත හැකි බවත් මව ප්‍රකාශ කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon