එංගලන්තයට ඇටවූ දඟපන්දු උගුලේම ලංකාවත් වැටෙයි ටෙස්ට් තරගාවලියත් පරදී

  👤  2353 readers have read this article !
By mawbima 2018-11-19

විචිත්‍ර වීරසිංහ _

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සිට..

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ඊයේ මහනුවර පල්ලෙකැලේ පිටියේදී නිමාව දුටු දෙවැනි තරගයෙන් ලකුණු 57ක ජයක් ලැබූ එංගලන්තය තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට සමත්ව සිටී.

එහිදී එංගලන්තයෙන් එල්ල වූ ලකුණු 301ක් වූ ඉලක්කයට ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් සාර්ථක පිළිතුරක් ලබා දුන්නද ලීච් හා මොයින් අලිගේ සුපිරි දඟපන්දු යැවීම් හමුවේ ලකුණු 243කට සීමා වීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය.

ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා පිල එංගලන්තය හමුවේ ලැබූ මෙම අමිහිරි පරාජයත් සමඟින් එංගලන්ත පිලක් හමුවේ ශ්‍රී ලංකා පිලක් මෙරටදී ටෙස්ට් තරගාවලියක් පරාජය වූයේ වසර 17කට පසුව වීමද විශේෂත්වයක් වන අතර, මෙයට පෙර එනම් 2001 වසරේදී ශ්‍රී ලංකා පිලක් එංගලන්තය හමුවේ තරග 2-1ක් ලෙස පරාජය වී තිබිණි.

කෙසේ වෙතත් මෙම තරගාවලි පරාජයත් සමඟින් (තෙවැනි තරගයේ තීරණය කෙසේ වෙතත්) ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයේ සිට 7 වැනි ස්ථානය දක්වා පල්ලම් බැස ඇති අතර, එංගලන්ත කණ්ඩායම තෙවැනි තැන සිට දෙවැනි තැන දක්වා ඉහළට ඒමට සමත් වීමද විශේෂත්වයකි.

එංගලන්තයෙන් එල්ල වූ අපහසු ඉලක්කයක් පසුපස හඹා යෑමට දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් අතුරින් කෞෂාල් සිල්වාට වෙනදා නොතිබූ හදිසියක් පෙන්නුම් කළ නිසාදෝ ලීච්ගේ පන්දුවකට සීමාවෙන් ඉවතට පැන පහරක් ගැසීමට ගත් උත්සාහයේදී ලකුණු 4කට ස්ටම්ප් කිරීමට හසුකරගැනීමට ෆෝක්ස් සමත් විය. ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු දෙකක් එක්වෙද්දී එනම් මුළු ලකුණු 16ක්ව තිබියදී නැවතත් ක්‍රියාත්මක වූ ලීච් එක් ලකුණක් ලබා සිටි ධනංජය ද සිල්වා ක්‍රීඩාගාරයට යවමින් ශ්‍රී ලංකාවට පීඩනයක් එල්ල කළේය.

ශ්‍රී ලංකාවට එල්ල වූ එම පීඩනය හමුවේ පළමු ඉනිමේදී මෙන්ම මෙවරත් කණ්ඩායමට සාධාරණයක් ඉටු නොකළ කුසල් මෙන්ඩිස් එක් ලකුණකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ලීච් සමත් විය.

එහෙත් කඩුලු 3ක් ලකුණු 26කට වැටී සිටි මොහොතක කරුණාරත්නට එකතු වූ ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 100න් මඳක් එහාට ශ්‍රී ලංකා ලකුණු පුවරුව රැගෙන ගියද එතෙක් හොඳින් ලකුණු රැස්කරමින් සිටි දිමුත් කරුණාරත්න රෂීඩ්ගේ පන්දුවක් හමුවේ ලකුණු 57කට දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 103ක් වූ අතර, ඔහු (කරුණාරත්න) මැතිව්ස් සමඟින් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක සබඳතාවක්ද එක්කළේය. ඉන් අනතුරුව මැතිව්ස්ට එක්වූ රොෂේන් සිල්වා ලකුණු 37ක් ලබා සිටියදී අලිගේ පන්දුවකට එංගලන්ත නායකයාට උඩපන්දුවක් ලබාදී දැවී යන විට මැතිව්ස් සමඟ 5වැනි කඩල්ල වෙනුවෙන් ලකුණු 73ක සබඳතාවක්ද එක් කළේය.

රොෂේන්ගේ දැවී යෑමෙන් අනතුරුව මැතිව්ස්ට එක්වූ දික්වැල්ල පැමිණි මොහොතේ සිටම අතදිගහැර පහර දෙන්නට වූ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංගුරම බවට පත්ව සිටි මැතිව්ස් කඩුල්ල මුවා කිරීමට ගොස් තෙවැනි විනිසුරුවරයාගේ තීරණයෙන් දැවී යන විට පරාජයේ සේයාව ශ්‍රී ලංකා පිල දෙසට එල්ල විය.

විනාඩි 205ක් පුරා විහිදුණු මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 6ක් අන්තර්ගතවී තිබූ අතර, දෙදෙනා අතර (මැතිව්ස් හා දික්වැල්ල) ලකුණු 45ක සබඳතාවක්ද එක් වී තිබිණි. අනතුරුව පැමිණි දිල්රුවන් ලකුණු 2ක් ලබා සිටියදී ලීච්ගේ ගොදුරක් බවට පත්වෙද්දී වර්ෂාව හේතුවෙන් සිවුවැනි දිනයේදී තරගය නතර කරන විට ශ්‍රී ලංකා පිල කඩුලු 7කට ලකුණු 226ක් ලබාසිටියේය. තරගයේ අවසන් දිනය වන ඊයේ දිනයේදී යැවූ පස්වැනි පන්දුවාරයේ පළමු හා තෙවැනි පන්දුවලදී දික්වැල්ල හා ලක්මාල් දවාගත් එංගලන්තය එක්දින මෙන්ම ටෙස්ට් තරගාවලි පරාජයක් ශ්‍රී ලංකාවට අත්කර දුන්නේ දඟපන්දු යවන්නන්ට උචිත තණතීරු සාදා, ඔවුන්ට ඇටවූ උගුලේ ශ්‍රී ලංකාවට වැටීමට සැලැස්වීමෙනි. එංගලන්තයේ දෙවැනි ඉනිම ශක්තිමත් කළ ජෝ රූට් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon