නිදහසින් පසු කිසි කලෙක මේ ආකාරයට රට අරාජික වෙලා නෑ

  👤  2506 readers have read this article !
By mawbima 2018-11-19

යහපාලන ආණ්ඩුව විදේශ ණය හා පොලී ගෙවන අතරතුර රටේ සංවර්ධනය සඳහා විධිමත් සැලසුම් සකස් කර ඒවා ක්‍රියාත්මක කරමින් සිටියදී හදිසියේ ක්‍රියාත්මක කළ දේශපාලන කුමන්ත්‍රණය හේතුවෙන් රටේ පරිපාලනය මුළුමනින්ම කඩා වැටී රටේ ඉදිරි ගමන වසර ගණනාවකින් ආපස්සට ගොස් ඇතැයි කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ මේ දක්වා ශක්තිමත්ව ක්‍රියාත්මක වන දැවැන්ත දේශපාලන පක්ෂය ලෙස ඕනෑම අභියෝගයකට මුහුණ දීමට පක්ෂය සූදානම් බවත් මැර බලය තර්ජන ගර්ජන මුදල් බලය යොදා බලයට ඒමට උත්සාහ කරන පරාජිත අන්තවාදී දේශපාලන බලවේග මෙන් නොව ප්‍රජාතන්ත්‍රවාදීව විනය ගරුකව සදාචාර සම්පන්නව වර්තමාන අර්බුදයට මුහුණ දීමට පක්ෂය සූදානම් බවත් ඒ මහතා සඳහන් කරයි.
අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළ කළ කාවින්ද ජයවර්ධන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද ප්‍රකාශ කළේය.

තිස් වසරක යුද්ධය පැවැති කාල සීමාවේදී හෝ සිදු නොවූ අයුරින් අද මේ රට ආරාජිකව ඇත්තේ හිටි හැටියේ සිදුකළ මෙම දේශපාලන කුමන්ත්‍රණය නිසයි. සංචාරක සමය උදාවනවාත් සමඟ ඇතිවූ මෙම අර්බුදය හේතුවෙන් ලක්ෂ ගණනක් ශ්‍රී ලංකාවට පැමිණීමට සිටි සංචාරකයන් සිය ගමනාන්තයන් වෙනස්කර තිබෙනවා. එමෙන්ම සංචාරක කර්මාන්තයට සම්බන්ධ දස දහස් ගණනකට සිය ජීවන මං අහිමිවී තිබෙනවා. මෙම තත්ත්ව නිසා රුපියල් බිලියන ගණනක විදේශ විනිමය අපේ රටට අහිමිව තිබෙනවා.

එමෙන්ම යහපාලන ආණ්ඩු ඉතා සාර්ථකව ගෙන ගිය උදා ගම්මාන වැඩපිළිවෙළ අත්හිටුවා තිබෙනවා. ඉදිකරගෙන යමින් තිබූ උදාගම්මාන දහසකට අධික ප්‍රමාණයක ඉදිකිරීම් ඇනහිට තියෙනවා. ජනතාවට තම ඉඩම්වල අයිතිය තහවුරු කෙරෙන ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදා දීමේ වැඩපිළිවෙළත් අත්හිටුවා තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, යුරෝපා සංගමය ඇතුළු අපේ රටට ආධාර දෙන රටවල් අපට ලබාදීමට නියමිතව තිබූ ණය හා ආධාර මුදල් අත්හිටුවා තිබෙනවා. ලබන ජනවාරි මාසයේ අප විසින් ගෙවිය යුතු ඩොලර් මිලයන 1,000ක මුදල ගෙවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. මේ නිසා ශ්‍රී ලංකාව අසාදු ලේඛනයට ඇතුළත් කිරීමේ අවදානමක් මතුව තිබෙනවා. අපේ ඇඟලුම් ඇතුළු නිමි භාණ්ඩ අපනයන කරන රටවල් ඒවා මිලදී ගැනීමේදී සම්බාධක පැනවීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා. මේ නිසා ආයෝජකයන් රට හැර යෑමේ අවදානමක් උදාවී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ තේ අපනයනයට කණකොකා හඬන තත්ත්වයක් උදාවී ඇත්තේ අපේ තේ වෙළෙඳපොළ කෙන්යාව ඇතුළු රටවල් කිහිපයක් මේ වනවිටත් අත්පත් කරගෙන ඇති නිසයි.

ලබන වසරේ පාසල් නිලඇඳුම් බෙදාදීම විශාල අවුලක් බවට පත්වන තත්ත්වයක් උද්ගතවී තියෙනවා. එපමණක් නොවෙයි රටේ ආර්ථිකයේ මර්මස්ථානය ලෙස සැලකෙන ඉන්ධන බෙදා හැරීමත් අඩපණ වන තත්ත්වයක් ඉස්මතුවී තිබෙනවා. මේ වන විටත් ඉන්ධන තොග අවසන් වෙමින් තිබෙන නමුත් අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් නොකිරීම හේතුවෙන් ප්‍රවාහන කේ‍රෂ්ත්‍රයට දැඩි අවදානමක් ඇතිවිය හැකියි.

නිදහස ලැබීමෙන් පසු වසර 70ක් වූ ඉතිහාසයේ කවර කාලයක සිදුනොවූ අස්ථාවරත්වයක් තමයි මේ සිදුව තිබෙන්නේ. මේ වනවිටත් ශ්‍රී ලංකාව 2015 ජනවාරි 8දාට පෙර පැවැති ආකාරයට ලෝකයෙන් කොන්වී තිබෙනවා. රට පත්ව ඇති මෙම තත්ත්වයෙන් ගොඩගන්නට මෙම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පරදවා ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය යළිත් තහවුරු කරන්නට මෙම සටන ඉදිරියට ගෙන යනවා. එයින් ජග්‍රහණය කරන්නේ එක්සත් ජාතික පක්ෂය හෝ ඒ සමඟ සිටින සෙසු දේශපාලන පක්ෂ නොව මේ පීඩාවට පත්ව සිටින මහජනතාව බව කිව යුතුයි.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon