නියමිත වෙලාවට මැතිවරණ නොතැබීමෙන් ඉතිහාසයේ වැරැදි රැසක් සිදු වුණා

  👤  2430 readers have read this article !
By mawbima 2018-11-19

ගන්දර - නිලූකා හේරත්

නියමිත කාලයේදී ඡන්ද නොතිබීමෙන් සිදුවූ අකටයුතුකම් රැසක් ඉතිහාසයේ තිබෙනා බවත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කැලෑ සටන් ආරම්භ කිරීම ඉන් එක් අවස්ථාවක් බවත් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැති මැතිවරණ සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන් හා සිවිල් ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා පැවැත්වූ රැස්වීමක දීය.

එහිදී දේශප්‍රිය මහතා මෙසේද කීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අර්බුදයක් තිබේ නම් ඒ ගැන ශේ්‍රෂ්ඨාධිකරණය දෙන තීන්දුව ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව බැඳී සිටිනවා. අධිකරණයට ඉදිරිපත් වන කරුණු අනුව අවසානයේදී ශේ්‍රෂ්ඨාධිකරණය දෙන තීන්දුව පිළිගන්න අපි සියලු දෙනාටම සිදු වෙනවා.

මෙවර දේශපාලන වෙනස්වීමේදී රජයේ ආයතනයක වෙඩි තැබීමේ අවාසනාවන්ත සිද්ධියක් හැරෙන්න වෙනත් බරපතළ සිද්ධීන් වාර්තා වුණේ නෑ. එය මුළු ලෝකයම මවිත කරවන සිදුවීමක්. එහෙත් දෙදාහ දශකයේ ආරම්භයේ පවා ඡන්දයක් ඉවර වුණාම ගෙවල් ගිනි තැබීම්, මරා ගැනීම් හා රජයේ දේපළවලට හානි කිරීම් සිදු වුණා. මෙවර එවැනි තත්ත්වයක් ඇති නොවීම ගැන සතුටුයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අනුන්ගේ මතය දැරීමට ඇති අයිතිය ඔවුන්ට තියෙනවා කියන එක පෙන්වන එකයි. එසේම බහුතරයේ මතය සුළුතරයට අගතියක් නොවන සේ ක්‍රියාත්මක කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනවා.

පාර්ලිමේන්තුවේ දෙසිය විසි පහෙන් එකසිය හැත්තෑ පහක් එක ගොඩේ හිටියත් අනෙක් පනහේ මතය බුල්ඩෝසර් කරන්නේ නැතිව ඒ අයගේ මතය ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කරුණ සුළුතරයේ මතයට හානියක් නොවන පරිදි බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීමයි. ඒ ක්‍රියාත්මක කරන මතය දැන ගන්න පුළුවන් කොහොමද? කැමැත්ත විමසීමකින් පුළුවන්. අපි පොඩි කාලෙ නම් ගෑනු ළමයෙක්ගේ කැමැත්ත ගන්න ලියුමක් දෙනවා. කැමති නම් එයත් ලියුමක් එවනවා. අද කාලේ නම් ඒ සියල්ල එස්.එම්.එස්. මඟින් සිදු වන්නේ. ඡන්දය කියන්නේ කැමැත්ත විමසීමක්.

බොහෝදෙනා මේ ඡන්දය බටහිරින් ආපු දෙයක් බටහිර ගුණ්ඩුවක් ලෙස හඳුන්වනවා. මානව හිමිකම්, අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ වාදය, මූලික මිනිස් අයිතිවාසිකම්, යහපාලනය, සාකච්ඡා, සම්මුති, තීරණ ගැනීම ආදී මේ සියලු දේ බුදුන්ගේ කාලයේ හා රජවරුන්ගේ කාලයේ පවා තිබී පවතිනවා.

කෙසේ වෙතත් ලබන වසරේදී අපට මැතිවරණ තුනක් පවත්වන්න නියමිතව තිබෙනවා. පළාත් සභා, මහ මැතිවරණ හා ජනාධිපතිවරණය පැවැත්විය යුතු තිබෙනවා. පළාත් පාලන මැතිවරණයක් පෙනෙන තෙක් මානයේ නැති වුණත් අනෙකුත් සියලු ඡන්ද පැවැත්වීමේ කාලය උදා වෙනවා. ඒ අතරදී ජනමත විචාරණයක් ඒවිද දන්නෙත් නැහැ. කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව ලෙස අපි ඕනෑම මැතිවරණයක් පවත්වන්න සූදානමින් සිටිනවා.

මෙවර පළාත් සභා මැතිවරණයට සියල්ල සූදානම් කර ගෙන යනකොටයි එකපාරට මහ මැතිවරණයක් කඩා පාත් වුණේ. සූදානමින් සිටි නිසා අපිට එය ප්‍රශ්නයක් නැහැ. ශේ්‍රෂ්ඨාධිකරණය දෙන ඕනෑම තීන්දුවක් අපි ක්‍රියාත්මක කරනවා. මැතිවරණය කොමිසමේ සාමාජිකයකු ශේ්‍රෂ්ඨාධිකරණයට යෑම ගැනත් මේ දවස්වල කතා බහ වෙනවා. කවුරු හරි පුරවැසියකුට හිතෙනවා නම් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවා කියලා ඔහුට හෝ ඇයට ශේ්‍රෂ්ඨාධිකරණයට යෑමට අයිතිය තිබෙනවා. එය පෞද්ගලික අදහස් නිසාද, පොදු යහපත ගැන සිතාද කියන්න දන්නේ නෑ. තමන්ගේ හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon