මව්බිම 7 වසර සැමැරුමට හිසට සෙවණක් ලැබී කඳුළු අතරින් සිනාසෙන සය දරු පවුල

  👤  3006 readers have read this article !
By mawbima 2018-11-18

බණ්ඩාරවෙල ගම්මානයේ දුප්පත් පවුලක ඉපදුණු දෙණිපිටිය මාර්තුගේ මාලනී කල්යත්ම යෞවනියක වූවාය. අම්මා තාත්තා සමඟින් ජීවත් වූ ඇයට ගෙදර අඩුපාඩුකම් දැනිණි. අම්මලා දුක් විඳිනවා. මම ඉගෙන ගන්නවා. ගෙවල් ‍ෙදාරවල්වල නෑ. හරි හමන් කෑමක් නෑ. බඩුවක් මුට්ටුවක් නෑ. අඩුපාඩු, දුප්පත් කමින් අපි මිරිකිලා කරන්න දෙයක් නෑ. තරුණ වියේ සිටි මාලනී නිතරම සිතන්නට විය.


මේ නිසා, තවත් මවුපියන්ගෙන් යැපෙන්නට ඇයට සිත් නොවීය. ඇය තීරණයක් ගත්තාය. ඒ කොළඹ එන්නටය. ඒ අම්මා තාත්තාට යම් සහනයක් සැපතක් සිදුකරන්නටය. තම දියණිය කොළඹ ගාමන්ට් එකක රස්සාවට එනවාට මාලනීගේ මවුපියෝ කැමැත්තක් දැක්වූයේ නැත. නමුත්, අවසානයේදී සිදුවන්නේ කොළඹ එන ගමනට අත්පොත් තබන්නටය. ඇය කිසිදු අතවැසියෙක් හෝ නොමැතිව තනි පංගලමේම කොළඹ විත් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ රස්සාවක් කරමින් කාලය ගත කළාය. තමාට ලැබුණු සොච්චම් වැටුපෙන් බෝඩින් ගාස්තුද ගෙවා ගෙන තම දෛනික වියදම්ද දරාගෙන මවුපියන්ට ද යම් මුදලක් දුන් පසුව මාලනීගේ මහා භාණ්ඩාගාරයේ නැතිනම් බැංකුවේ ඉතිරි වූ දෙයක් නොවීය. මේ ආකාරයට ඇය වසර ගණනාවක් කටුනායක වෙළෙඳ කලාපයේ සේවය කළාය. ඒ අතර අවාසනාවන්ත ආකාරයට මාලනිගේ පියා මිය යන්නේ මාලනීගේ හදවතට දුකක් එක් කරමිනි. ඇය දිගින් දිගටම වෙළෙඳ කලාපයේ සේවය කළාය. මේ අතරතුර මාලනීගේ සහකරුවා නන්දන හමුවන්නේ මේ කාලයේය.


නන්දන ගාල්ලේ බද්දේගම වල්පල වවුල්කැටකන්ද ගමේ පදිංචිව සිටින තරුණයෙකි. හෙතෙම ද රස්සාවක් නොමැතිව කොළඹ ආවේ ජීවත්වන්නටය. රස්සාවක් නැතිව කොළඹ දෙල්කඳ ප්‍රදේශයේ සිටින ඔහුට ඒ අසල තිබෙන බව කී පාන් බේකරියක සේවය කරන්නට ඉඩ ලැබේ. මිතුරකුගේ බෝඩිමක සිටි කහඳගමගේ නන්දන බේකරි වැඩ නොදන්න නමුත්, වැඩ දන්නා බේකරි බාස් කෙනෙක් ලෙස ලොකු බාස් එක්කලා අත්වැඩ දෙමින් බේකරියේ වැඩ කළේය. රැයක් දවාලක් වෙලාවක් කලාවක් නැති පඩියක් වැඩිපුරම නොලද නමුත්, ඉන්න තැනක් කන්න යමක් නැති නිසා නන්දන ඒ සියල්ලම තම පඩියට නැතිනම් වැටුපට එක් කළේය. එවිට ලොකු වැටුපක් නේද කියා නන්දනට සිතිණි.
දැන් නන්දනගේ වයස අවුරුදු 23කි. ඉඳහිට බේකරියේ වැඩකරන අතරතුර නිවාඩුවක් ලද විගස සම වයසේ වුන් සහෝදර සගයන් සමඟින් ටවුමට එන නන්දනගේ සිත් ගත් තරුණිය වූයේ මාලනීය. මාලනී එවිට 20 වැනි වියේ පසු වූවාය.


වසර ගණනාවක ආදර කතාන්දරයකින් පසුව නන්දන හා මාලනී විවාහ වූයේ ඥාතීන්ගේ ආශීර්වාද ඇතිවය. මාලනීගේ මවුපියන්ද නොමැති නිසා බණ්ඩාරවෙල යන්නට මාලනී නන්දනට ඇවිටිලි කළාය. නමුත් නන්දන කී කතාව නිසා මාලනී පත්වූයේ සිතා ගන්නටවත් බැරි තත්ත්වයකටය.


"මම ඔයාට කියන්නමයි හිටියේ, මට අම්මා තාත්තා නෑ. මම ඉන්නේ ආච්චි අම්මා ළඟ. ආච්චි එක්ක ඉමදුව, වල්පොළ වවුල්කැටකන්ද ගමේ. අපි එහෙ යමු. අම්මා තාත්තා නැතිව මම හදාගත්තු ආච්චි අම්මා අමතක කරලා මට බණ්ඩාරවෙල යන්න බැහැයි කිව්වේ අන්න ඒ නිසයි." නන්දන මාලනීට කීවේය. පැමිණෙන දුක් හෝ කරදර හෝ එක් අතකට පැණි මෙන් රස විය හැකිය. නැතිනම් තිත්තද විය හැකිය. ඕනෑම දේකට සූදානම් වූ මාලනී නන්දන වවුල්කැටකන්ද ගමට එන්නේ මැටිගසා සකස් කළ නිවෙසකටය. ගෙට එන්නට හරි හමන් පාරක් නැත. ඇත්තේ අඩි පාරකි. විදුලිය ජලය තියා පොදු පහසුකම්වලින් මේ නිවෙස අඩුපාඩුවලින් අඩුවක් නොවීය. කඳු මුදුනක වූ මේ නිවෙස සත්තකින්ම රාජමාලිගාවක් මෙන් සම්පත් නොතිබුණ ද සතුට, සාමය, නිදහස ඉතිරී ගොස් තිබිණි.


මාලනීගේ නන්දනගේ කැදැල්ලට පැටවුන් එක්වන්නේ මේ අතරතුරය. ඒ සමඟම නන්දනගේ අත්අම්මාද මෙලොවින් සමුගන්නේ නන්දන මේ ලෝකයේ තනිකරය.
කුලියක්, මලියක් කරගනිමින් ජීවත් වන නන්දන නිවෙසක් සකස් කරන්නට කළ නොකළ දෙයක් නැත. නමුත් එය සත්තකින්ම සිහිනයක් විය. අද වන විට (2018) නන්දන තම කටුමැටි ගසන ලද නිවෙස තුළ ජීවත් වන්නේ දූ දරුවන් හය දෙනෙක්ද සමඟයි.


දරු පැටවුනට කන්න දෙන්න වුවමනාය. මවු කිරි දෙන්නට බෑ. දරුවන්ට පිටි කිරි අරන් දෙන්න වෙනවා. ගෙදර වියදම එන්න එන්නම වැඩි වෙනවා. නන්දනගේ මාලනිගේ දරුවෝද කිරි වැදුණු ගොයම් යායක් මෙන් උස් මහත් වී වැඩෙන්නට විය. එය සුන්දරය. සතුටුය. කොතරම් නිවෙසේ අඩුපාඩුකම්, අගහිඟකම් තිබුණද, නන්දනට හා මාලනීට සැනසෙන්නට එය හේතුවක් වූහ.


"අපේ මහත්තයට කියන්න අපේ දරුවෝ නම් අපි දෙන්නා වගේම අහිංසකයි. කරදරයක් නෑ. අපිට කොයිතරම් අඩුපාඩුකම් තිබුණත් මේ දරුවන්ගේ මුහුණ බැලුවහම සේරම දුක් නැති වෙනවා. මාලනී නන්දනට කීවාය. නන්දන එය අනුමත කළා මිස කිසිවක් නොකියා සිටියේය. මෙසේ හිරු සඳු වියකිනි. කාලය ගතවිය. දැන් නන්දනගෙ මාලනීගේ පවුල් දිවියට 2018 වන විට අවුරුදු 27කටත් වැඩිය. තවමත් ගෙයක් හදන සිහිනයට සිනහවක් ගෙනදෙන්නට නන්දනට නොහැකි විය. දරුවන් ලොකු මහත් වෙනවා. ගෙදර ඉඩත් නෑ. ගෙයක් හදන්න මොකක් හරි කරන්න වෙනවා. නන්දන නිතරම මාලනීට කියන්නට විය.


අල්ලට සීනි තවරා කා කහට කෝප්පයෙන් සප්පායම් වූ නන්දන සුපුරුදු පරිදි උදෑසන ආහාර ද නොමැතිව කුලී වැඩකට ගියේ ඉමදුව නගරයේ වෙළෙඳසලක දර පළන්නටය. නන්දන හරි අපූරු නන්දනීය මිනිසෙකි. නන්දන මේ වන විට 47 වැනි වියේ පසුවුවද ඕනෑම රස්සාවක් කරන්නට හැකි අපූරු තාත්තා කෙනෙකි. කහඳගමගේ නන්දන අපට කීවේ අද වන විට ඔහුගේ කතාන්දරයයි. දරුවන් හය දෙනාගෙන් මේ වන විට පාසල් වයසේ පසුවන දරුවන් තිදෙනෙකි. මේ අය වල්පල ගුණතිලක විදුහලේ අධ්‍යාපනය හදාරමින් සිටිති.


තවමත් කටුමැටි නිවෙස නන්දනලාගේ අහිංසක පවුලේ කතාන්දරය අප එහි යන විටත් අපට කැටපත් කර කියා ලියා තිබිණි. බලි රූප බිත්ති මත ලියලාය. සිදුරු වළ ගොඩැලි ඇති ඒ නිවෙසේ බිත්ති අඳුරු පැහැ ගෙන තිබිණි. කටුමැටි බිත්ති සහිත වූ නිවෙසේ සමහර බිත්ති ඇදව පෙරළෙන්නට ඇස් අයාගෙන සිටිති. මේ නිවෙසේ ගේ ඇතුළේ සිට අහස බැලිය හැකිය. ඒ දිරාගිය වහල තුළ තැනින් තැන ඇති සිදුරු තුළිණි. පසුගිය 2018.11.14 දින වල්පල වවුල්කැටකන්ද ගමට ගියේ අපේ වාහනය කන්ද පහළ නතර කර තබාය.

දුෂ්කර කන්ද තරණය කර අඩිපාරක් දිගේ වළ ගොඩැලි සහිත මාර්ගයක අප ගමන් කළෙමු. අපි එහි යන විටත් නන්දනගේ නිවෙසේ දූ දරුවෝ හා මාලනී අප එනතෙක් බලා සිටියෝය. ඒ අහිංසක සතුටු දායක කතාන්දරය කියන්නටය. නන්දනලාගේ නිවෙසක සිහිනයට සිනහවක් ලැබී තිබිණි. එය සිදුවූයේ කෙසේද යන්න නන්දනලාට පුදුමයකි. මට ඉහේ මලක් පිපුණා වගේ නන්දනත් මාලනිත් කියයි.

වහලක් ඇති නිවෙසක්. නව නිවෙසේ නන්දනලාගේ දරුවෝ ඒ මේ අත දුව යති. අලුත් නිවෙසක් අලුත් වහලක් සිතට නිවනක් නිදහසක් සතුටක් අලුත් බිත්ති ඒවා පාට කරලා. මැටි බිත්ති වෙනුවට සිමෙන්ති ගඩොල් බිත්ති ඒ වට අමතරව සායම් කරලා. සිවිලිම් ගහලා. කුප්පි ලාම්පු කුප්පියෙන් ගෙදරක කාලයක් ආලෝකය ලැබූ නිවෙස අද විදුලි බල්බ වහලේ සිවිලිමේ සවිකරන ලද කැරකෙන විදුලි කුරුල්ලා ගෙදරටම සාලයටම ඉස්තෝප්පුවටම සිසිල දෙයි.


අංග සම්පූර්ණ නිවෙසක් අංග සම්පූර්ණ ආකාරයට ගොඩනඟා තිබේ. මෙය ඉබේ පහළ වූවාදැයි යමෙකුට සිතෙන්නට හැකිය. නැත. ඒ නන්දනලාගේ මාලනීලාගේ නිවෙසක සුන්දර සිහිනය ඉටුවූයේ කෙසේද? එය ද සත්තකින්ම රසවත් වූ කතාන්දරයකි. එක්තරා පුවත් පතක් නම් නොවන පුවත් පතක උදාර මව්බිමේ කළ යුතු මෙහෙවරක් නිසා ඉදි වූ නිවෙසකි.


නිවෙස සකස් කරන්නට සියලුම ශ්‍රමය දායකත්වය නිපැයුම කළේ නාවික හමුදාවේ සෙබළුන් සමූහයකි. නිවෙසක අයිතිය ලැබීම ඕනෑම පුද්ගලයකුට තම සිහිනයක් සැබෑ වීමකි. එවන් සිහිනයක් සැබෑ වූ ගාල්ල ඉමදුව වල්පල වවුල්කැට කන්ද ප්‍රදේශයේ පදිංචි කේ.ජී. නන්දන ද සැබෑ වාසනාවන්තයෙකි. ඔහුට මෙම වාසනාව ලැබුණේ මව්බිම පාඨකයකු වීම නිසාමය. මව්බිම පුවත්පතේ හත්වන සංවත්සරය වෙනුවෙන් හිසට සෙවණක් අහිමි දරු පවුලක් සඳහා සුපිරි නිවෙසක් ලබාදීමේ වැඩසටහන යටතේ ජයග්‍රාහකයා වූ නන්දන මහතාගේ නිවෙස ඉදිකිරීම සැප්තැම්බර් 28 දිනට යෙදී තිබූ සුබ මොහොතින් ඉමදුව වල්පලදී ආරම්භ විය.


මව්බිම පුවත්පතේ හත්වන සංවත්සරය යෙදෙන නොවැම්බර් මස 18 දිනට මෙම නිවෙස අයිතිකරුවන්ට ලබා දීමට දැන් නිවෙස සකස් කර අවසන්ව ඇත. ඉමදුව වල්පල වවුල්කැටකන්ද ප්‍රදේශයේ පදිංචි කේ.ජී. නන්දන මහතා වසර ගණනාවක් පුරා තමාගේම නිවෙසක් නොමැතිව සිටි පුද්ගලයෙකි. කේ.ජී. නන්දන මහතාගේ පවුලේ දරුවන් 06 දෙනකු සිටින අතර එක් දරුවකු ආබාධිත දරුවෙකි. තවමත් පාසල් යන වයසේ ඇති දරුවන් හතර දෙනකු සිටින මෙම පවුල මෙවන් නිවෙසක් ලැබිය යුතු පවුලක් බවට අදාළ යක්කලමුල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාද සනාථ කරන ලද්දකි. මෙම පවුල සඳහා මව්බිම පුවත්පත් සමාගම හා දුලාන් හෙට්ටිආරච්චි පදනම එක්ව නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය යටතේ මෙම නිවෙස ඉදිකිරීම සිදුකර ඇත.


නිවෙසේ හිමිකරු කේ.ජී. නන්දන මහතා සිය සතුට මෙසේ වචනවලට පෙරළුවේ සතුටු කඳුළු වගුරවමින්ය.


"මම හැමදාම මව්බිම බලන කෙනෙක්. මට සල්ලි නැත්නම් පත්තර ලෑල්ලෙන් හරි බලනවා. එහෙම වෙලාවක මේක දැකලා දුලාන් මහත්තයාගේත් උදවු ඇතිව තමයි මේකට ඉල්ලුම් කළේ. මට දරුවෝ හය දෙනෙක් ඉන්නවා. අවුරුදු 6, 9, 11, 18, 22 හා 24 වයස්වල ඒ අය ඉන්නේ. එක්කෙනෙක් නම් බැඳලා. අවුරුදු 22ක වන දුව ආබාධිතයි. මම කුලී වැඩ කරලා තමයි මගේ පවුල ජීවත් කෙරෙව්වේ. අපි ඉන්නේ මේ යන්තම් අටව ගත්ත පැලේ. මේ වගේ නිවෙසක් කියන්නේ ඉතින් හීනයක් තමයි. අනේ බලන්න අද මේ පොඩි එවුන් උඩ පනිනවා. මේ උදවු කළ අයට බුදු බව අත්වෙන්න ඕන.


සැබැවින්ම නන්දන මහතාගේ දරුවන්ට පසුගිය දින කිහිපයක වැඩ අධික විය. මේ සෑදෙන තමාගේ සිහින නිවෙස වෙනුවන් ලී කොට තමන්ම අදිමින් නාවික හමුදා නිලධාරීන්ට සහාය දුන්නේ බලවත් කැමැත්තකිනි. "අනේ ඉතින් අපි මේ වගේ ගෙයක් කවදා හදාගන්න ද මහත්තයෝ. මව්බිම පුවත්පතට, දුලාන් මහත්තයලාට පින්සිද්ධ වෙන්න ඕන. ඇත්තටම ගඩොල් කැටෙන් කැටේ හැදෙන කොට පුදුම ආසාවක් දැනුණේ. අපේම ගෙයක් නේද මේ කියලා හිතන කොට හිතාගන්න බෑ."


නන්දනගේ කතාව හැඟුම්බරය.
අද වෙනදා නැති උදේ‍යාගයකින් නන්දනගේ දරුවන් උද්දාමයට පත්ව ඇත්තේ මේ නිවෙස තමන්ගේ යැයි හදවතට දැනුණු සතුට නිසාවෙන්මය.
ඉමදුව ටී. විතානවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon