එජාපෙය පෙත්සම් හදාගෙන උසාවි ආ ගමනේ සුලමුල

  👤  3283 readers have read this article !
By mawbima 2018-11-18

පාර්ලිමේන්තුවේ 113 බහුතරය හදන්නට ආණ්ඩුව මෙන්ම එජාපයද සිටියේ දැඩි සටනකය. ඒ සටන කොතරම් දුරට තීව්‍ර වූවාදැයි කිවහොත් දෙපාර්ශ්වයේම මැති ඇමැතිවරුන්ට දෙපැත්තෙන්ම ලැබෙන ආරාධනා නිමක් නොවීය. බහුතරය සොයන සටන ඒ තරමටම දුර දිග ගොස් තිබිණි.


යටියන්තොට එජාප මන්ත්‍රි සුජිත් පෙරේරාට දුරකථන ඇමැතුම් පමණක් නොව නිවෙසටද සොයාගෙන ගොස් ආණ්ඩුවට එක් වීමට ආරාධනා ලැබිණි. තමන් ආණ්ඩුවට එක් වීමට අකැමැති බව කීවත් ආරාධනා දිගටම ආවේය. මේ නිසා මන්ත්‍රිවරයා සිය දුරකථනය ක්‍රියා විරහිත කර කොළඹට පැමිණියේ මේ කරදරයෙන් බේරීමටය. කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් විජේමාන්නටද මේ ආරාධනා ලැබුණත් ඔහුද එම යෝජනා ප්‍රතික්ෂේප කර තිබිණි.


මේ අතර මුස්ලිම් පක්ෂ හා වතුකරයේ පක්ෂ සහ දෙමළ පක්ෂවලටද එන ඉල්ලුම වැඩිවිය. ආණ්ඩුවට එක්වන බවට කිසිදු පොරොන්දුවක් නොදී සිටියදී පවා එන බලපෑම හමුවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු සහ වතුකර පක්ෂවල මන්ත්‍රිවරු දුරකථන ක්‍රියා විරහිත කරගෙන සිටියේය. සමහරු විදේශගත වූහ. තවත් පිරිස් සිය ගම් රට බලා ගියේය. රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරු දෙදෙනා සිය මන්ත්‍රි කණ්ඩායම සමඟ මක්කම වන්දනාවේ ගියහ.


මේ සියලුම මන්ත්‍රිවරු ආණ්ඩුවෙන් ආ ආරාධනාවලට කැමැත්ත ප්‍රකාශ කර තිබුණේ නැත. ආණ්ඩුවෙන් ආ ආරාධනාව ගැන සලකා බලන්නම් කියා මඟහැරියේ එය කරදරයක්ම වූ බැවිනි.


මේ අතර ආශෝක් අබේසිංහ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා හිටියේ චීනයේය. ඔහු ලංකාවට පැමිණෙන විට ආණ්ඩුවේ ප්‍රබලයන් තුන් දෙනකු ඇතුළු 12 දෙනකුගෙන් ආරාධනා ලැබී තිබුණේ ආණ්ඩුවට එක්වන ලෙස ඉල්ලමිනි. ගම්පහ දිස්ත්‍රික්කයේ අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රිවරයාටද මේ ආරාධනාව ලැබී තිබිණි.


කෙසේ හෝ අවසානයේ රංගෙ බණ්ඩාර හිටපු අමාත්‍යවරයා තමන්ට ආණ්ඩුවට එක්වන ලෙස කියූ දුරකථන ඇමැතුම පටිගත කර මාධ්‍යට ඉදිරිපත් කළේය. ගාල්ලේ බන්දුලාල් මන්ත්‍රිවරයාද තමන්ට කතා කළ දුරකථන ඇමැතුම සමාජ මාධ්‍ය හරහා එළිදැක්වීය.


මේ අතර මනුෂ නානායක්කාර ආණ්ඩුවෙන් එළියට ආවේය. මේ සිදුවීම් පෙළ සමඟ තමන්ට 113 නැති බව ආණ්ඩුව වටහාගෙන තිබිණි. පසුගිය 7 වැනිදා රාත්‍රියේ මුස්ලිම් පක්ෂ හා දෙමළ පක්ෂ මන්ත්‍රිවරුන්ගේ සහාය තමන්ට නැති බව වටහාගෙන තිබිණි.


මේ කාලයේ එජාපයද උප්පරවැට්ටියක් කර තිබිණි. එජාපයේ මන්ත්‍රිවරු බිලී බා ගැනීමට ආණ්ඩුව සූදානම් වීමේදී ඊට අනුකූලතාවක් දැක්වීමයි. ආණ්ඩුවෙන් දෙන ඇමැතිකම් භාරගෙන ආණ්ඩුවට සහාය දෙන බව පෙන්වා 14 වැනිදා ඡන්දයේදී එජාපයට ඡන්දය ලබා දීමටය. ඉතා රහසිගතව දියත් කළ මේ ක්‍රියාදාමය සාර්ථක කර ගැනීමට එජාපයට හැකිවිය. 14 වැනිදා අප දුටුවේ එජාපය ඇටවූ උගුලේ ප්‍රතිඵල දැයි විය හැකිය.


මේ අතරේ ආණ්ඩුව විසිරවීමට යන බව එජාපයට දැනගන්නට ලැබිණි. ඒ බහුතරය සොයාගැනිමේ ගැටලුවක් නිසා බවටද තොරතුරු වාර්තා විය.
අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් කැඳවූ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව විසිරවීමට සූදානමක් පවතින බවය. එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල හිටපු අමාත්‍යවරයා කීවේ,


"ජනාධිපතිවරයා තවත් ව්‍යවස්ථා විරෝධී වැඩක් කරන්නයි හදන්නේ. ජනාධිපතිතුමාට ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ කියාය."


අජිත් පෙරේරා හිටපු ඇමැතිවරයාද එය අනුමත කරමින් කරුණු දැක්වීය. චම්පික රණවක, රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර හිටපු ඇමැතිවරුද ආණ්ඩුව විසිරවීමට විරුද්ධව කරුණු දැක්වූහ. ආණ්ඩුව විසිරවුවහොත් ඊට ගන්නා ක්‍රියාමාර්ගද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කළේය.


'ජනාධිපතිතුමා ව්‍යවස්ථා විරෝධීව හැසිරෙනවා නම් අපට මේ ප්‍රශ්නේ විස¼දා ගන්න ශේ‍ර්ෂ්ඨාධිකරණයට යන්න වෙනවා' යැයි හිටපු අගමැතිවරයා කීය.
මේ කතාව ලක්ෂ්මන් කිරිඇල්ල, අජිත් පී. පෙරේරාද අනුමත කළේය.


ඔබතුමාඹට පසුගිය අප්‍රේල්වල විශ්වාසභංගය ගේනකොට අපි ඒකට පක්ෂයක් විදියට සාර්ථකව මුහුණ දුන්නා.


'දිනේෂ් විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඩලස් අනුමත කළා. අපි ඒ එකකටවත් වංගු දැම්මේ නැහැ. හරියට මුහුණ දුන්නා. වැඩි ඡන්දයෙන් දිනුවා. ඇයි මහින්දටත් 14 පාර්ලිමේන්තු ඇවිත් බහුතරය පෙන්වන්න බැරි. මහින්දට බහුතරය නැහැ. ඒ නිසා ඡන්දයකට යන්න බයයි. ඒකයි පාර්ලිමේන්තුව විසුරුවේ යැයි ලක්ෂ්මන් කිරිඇල්ල හිටපු ඇමැතිවරයා කීය.


මේ සටන අන්තිම වෙනකම් අතහරින්න බැහැ. මේක ව්‍යවස්ථා විරෝධීයි. ජනමතයට විරුද්ධයි අජිත් පෙරේරාද කියා සිටියේය.


හිටපු අගමැතිවරයාද කියා සිටියේ ව්‍යවස්ථානුකූලව නීතියට අනුව තවත් තමන්් රටේ අගමැති බවයි. කෙසේ හෝ අවසානයේ පසුගිය 9 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. මේ විසුරුවා හැරීමට විරුද්ධව විවිධ පාර්ශ්ව ශේ‍ර්ෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරන බව ඉන් පසු කියැවිණි.


පාර්ලිමේන්තුව කැඳවා මේ ප්‍රශ්නය විස¼දා ගැනීමට එජාපය පැත්තෙන් දැඩි උත්සාහයක් ගත්තේය. එහිදී අජිත් මාන්නප්පෙරුම සහ අශෝක් අබේසිංහ මන්ත්‍රිවරු දෙදෙනා ජනාධිපතිවරයා හමු වී සාකච්ඡාවක්ද කර තිබිණි. එහිදී ඔවුන් යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබුණත් ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැත.


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව ශේ‍ර්ෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට භාරවූයේ කබීර් හෂීම් හිටපු ඇමැතිවරයාටය. මෙහිදී නීතිඥ සහාය ලබා ගනිමින් පෙත්සම සැකසිණි.


හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද දක්ෂ නීතිඥයෙකි. අදාළ පෙත්සම හැදීමේදී සියලු උපදෙස් ලබා දුන්නේ හිටපු අගමැතිවරයාය. මේ සඳහා එජාපයේ නීති මණ්ඩලයේ අනුශාසනා උපදෙස් හිටපු අගමැතිවරයාට ලැබිණි. දයා පැල්පොළ, නිශ්ශංක නානායක්කාර, තිලක් මාරපන ජනාධිපති නීතිඥ කනගීශ්වරන් ඇතුළු නීති මඬුල්ලක් මෙහිදී පෙත්සම සෑදීමට සහාය දැක්වීය.


මීට අමතරව ලක්ෂ්මන් කිරිඇල්ල, අජිත් පෙරේරාද මෙහිදී වැඩි කාර්යය භාරයක් කළේය. එජාපයට සම්බන්ධ නීති මඬුල්ලට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය අගයන නීතිඥ කණ්ඩායම් පෙත්සම සෑදීමේදී එජාපයට සහාය දැක්වීය. මෙහිදී වැදගත් කාරණයක් වූයේ ශ්‍රී ලනිපය හා පොහොට්ටුව වෙනුවෙන් පෙනීසිටි සමහර නීතිඥවරුන් සහ නීති විශාරදයන්ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනි යැයි පවසා එජාපයේ පෙත්සමේ සහායට ඉදිරිපත් වෙමින් නීති සහාය ලබා දුන්නේය.


මේ අය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සහාය දීමට ඉදිරිපත් වීම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැසසුමට ලක්විය. හිටපු විනිශ්චකාරවරුන්, නීතිඥයන් ඇතුළු සියලු දෙනාගේ සහාය මූලික වශයෙන් හිමි වූයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙනි. ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා හෝ එජාප ආණ්ඩුවක් ගෙන ඒම වෙනුවෙන් නොව රටේ අනාගතය වෙනුවෙන් මේ සහාය දෙන බව හිටපු අගමැතිවරයාට පවසා ඇත.

එජාපයේ පෙත්සම සෑදූ පසු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එය තෙවරක්ම පරීක්ෂා කර බැලීය. ඒ ඇලපිල්ලක හෝ ඉස්පිල්ලක, තිතක, කොමාවක හෝ අඩුවක් නොතියා හරියට වැඩේ කිරීමටය. එජාප පෙත්සමට අමතරව ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ප්‍රජාතන්තවාදී ජනතා පෙරමුණ නියෝජනය කරමින් රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, අනුර කුමාර දිසානායක, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්‍යසෝති සරවනමුත්තු, නීතිඥ අරුණ ලක්සිරි, නීතිඥ ලාල් විජේනායක, නීතිඥ පී.සී.ජේ. පෙරේරා, නීතිඥ ඉන්දික ගාල්ලගේ යන මහත්වරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව පෙත්සම් ගොනු කර තිබිණි.


මීට අමතරව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික රත්නජීව හුල් මහතාද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබිණි.


පාර්ලිමේන්තුව විසුරුවීම අත්හිටුවා ශේ‍ර්ෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු පාර්ලිමේන්තුව රැස්වුවත් 14 සහ 15 දෙදින කලහකාරී ස්වාභාවයක් ගත්තේය. 15 දින උදේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡාවකට එන ලෙස එජා පෙරමුණේ පක්ෂ නායකයන්ට දෙමළ ජාතික සංධානයේ නායකයන්ට මෙන්ම ජවිපෙට ආරාධනා කර තිබිණි.


එහෙත් 14 වැනිදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ ඇමැති මණ්ඩලයට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාසභංගයෙන් ආණ්ඩු පාර්ශ්වය පරාජය වූ බව කථානායකවරයා කීය. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා හෝ ඇමැති මණ්ඩලය නොපිළිගන්නා බවද කීය. විශ්වාසභංගය වෙනුවෙන් මන්ත්‍රිවරු 122කගේ අස්සන් ලැබුණු අතර එම අස්සන් සහිත ලිපියක්ද කථානායකවරයා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබිණි.


මෙම ලිපිය ජනාධිපතිවරයාට ලැබුණත් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් ඊට විරෝධය එල්ල වීමත් සමඟ ජනාධිපතිවරයා එම ලිපිය නොපිළිගන්නා බවට කථානායකවරයාට දන්වා සිටි බව එජාප දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ නිසා 15 වැනිදා උදේ ජනාධිපති සමඟ පැවැත්වීමට තිබූ සාකච්ඡාවට සහභාගි නොවීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ තීරණය කර තිබිණි. ඊට සහභාගි වූයේ ශ්‍රී ලනිපයේ මන්ත්‍රි කණ්ඩායම පමණක් බවද ආරංචි විය.


මේ අතර ජනාධිපතිවරයා විසින් එජාපය වෙත දන්වා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පදවියට නම් කිරීමට තමන් කිසිසේත්ම සූදානම් නැති බවය.
ඉන් පසු 15 වැනිදා සවස පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ පක්ෂ නායකයන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත. එයට ජවිපෙ සහභාගි වී නැත. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ නීතියට අනුව මන්ත්‍රිවරයාගෙන් මන්ත්‍රිවරයාට ඡන්දය විමසා තීන්දුව ගන්නා ලෙසයි. එවිට තමන් ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට සූදානම් බවය. මෙහිදී ජනාධිපතිවරයා තමන් හමුවට පැමිණි පක්ෂ නායකයන්ට පවසා ඇත්තේ රනිල් වාඩිවෙන කැබිනට් එකක තමන් වාඩිවීමට අකැමැති බව යැයි එජාප දේශපාලන ආරංචි මාර්ග පවසයි.


මේ අතර 15 සවස මාධ්‍යවේදීන් සමඟ කතා කළ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ දැන් රටට ආණ්ඩුවක් නැති බවයි. ඒ වගේම අගමැති කෙනෙක් නැති බවයි. විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම ඉදිරිපත් කළ විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජය වී ඇති බවයි. මේ රටේ බහුතර බලය එක්ක ඉන්නා අගමැතිවරයෙක් සහ පාර්ලිමේන්තුවක් තිබියදී ඒ අයට ඉඩනොදී විශ්වාසභංගයෙන් පරාජය වූ අය බලෙන් ආණ්ඩු කිරීමට උත්සාහ කරන බවයි.


මේ අතර එජාප මන්ත්‍රිවරුන්ගේ දැඩි ඉල්ලීම වූයේ ජනාධිපතිවරයා දිගින් දිගටම මේ විදියට හැසිරෙන්නේ නම් ජනාධිපතිවරයාට විරුද්ධවද දෝෂාභියෝගයක් ගෙන ආ යුතුයි කියාය.
ප්‍රගීත් සම්පත් කරුණාතිලක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon