කථානායක අද අතකොළුවක් වෙලා

  👤  2832 readers have read this article !
By mawbima 2018-11-18

පාර්ලිමේන්තුව තුළ පෙරේදා (16දා) ඇති වූ උණුසුම්කාරී තත්ත්වයට මුළුමනින්ම වගකිව යුත්තේ කථානායක කරු ජයසූරිය මහතා බව සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.


ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතාමත් පහත්, කිසිදු ප්‍රතිපත්තියක් නැති, කථානායකවරයකුගේ වගකීමේ "අ" යන්න නොදන්නා, කරු ජයසූරිය මහතාගේ හැසිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවත් දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසුවේය.


මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ,
සම්ප්‍රදාය විරෝධී පාර්ලිමේන්තු ක්‍රමයකට තමන්ගේ අණසක යටතේ බලය පිහිටුවා ගැනීමට ක්‍රියාකිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වක් ඇති වුණා. ඊයේ ඇති වුණ තත්ත්වය අද වනවිට වඩාත් වර්ධනය වෙලා තිබෙනවා. සම්පූර්ණයෙන්ම මේ ඇති වුණ තත්ත්වය ගැන කථානායක කරු ජයසූරිය වගකීම භාරගත යුතුයි.


මීට වැඩිය නරක තත්ත්වයකට පාර්ලිමේන්තුව ගෙන යන්න එපා. පිහි දෙකක් රැගෙන ආ මන්ත්‍රිවරුන් තමන්ගේ පිහි ප්‍රදර්ශනය කරමින් පැමිණෙද්දී ඔබට මෙල්ල කරන්නට බැරි වුණා. අපේ මන්ත්‍රිවරුනුයි එය මෙල්ල කළේ. මෙවැනි ක්‍රියාවලින් අගමැතිවරයාගේ ජීවිතයට තර්ජනයක් විය හැකියි. මරණයක් සිදුවීම වැළැක්වුණේ අපේ මන්ත්‍රිවරු අතිනුයි. වහාම මේ සඳහා මැදිහත් වන ලෙස කථානායකවරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් පියවරක් ගත්තේ නැහැ.


අපේ මන්ත්‍රිවරයකු රෝහලේ සිටින්නේ සභාවට පිහි ගෙන ඒමේ ප්‍රතිඵලයක් වශයෙනුයි. ඒ සම්බන්ධයෙන් තවමත් කථානායකවරයා පියවරක් ගෙන නැහැ. පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ ඊට විරෝධය පෑම සිදුවුණේ කථානායකවරයා කථානායකවරයකු ලෙස හැසිරුණේ නැති නිසයි. මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව සලසා දෙන්න කියලයි ඉල්ලීම කළේ.

නමුත් කථානායකවරයා පාර්ලිමේන්තුවට පැමිණියේ නැහැ. පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ අනෙක් ලේකම්වරුන් සිටියදීම කථානායකවරයා පාර්ලිමේන්තුවට නොපැමිණීම නිසා සභාවාරයක් අද පවත්වලා නැහැ. මෙවැනි තත්ත්වයක් තුළ බලෙන් වෙන වෙන තැන්වල සම්මත කළ බව කියන යෝජනාවල වලංගු භාවයක් නැහැ. නීත්‍යනුකූලව ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව රැස්විය යුතු බව අපි කථානායකවරයාට ප්‍රකාශ කර සිටියා.


කථානායකවරයා තමන්ට අවශ්‍ය අයගේ ඕනෑ එපාකම් ඉටු කරන අතකොළුවක් ලෙස පමණක් හැසිරෙන බව ඉතාම පැහැදිලියි.
පෙරේදා (16දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon