විපක්‍ෂයේ අභියෝගයක් නැත්නම් සුළුතර ආණ්ඩුවක් පවත්වාගෙන යා හැකිය

  👤  2505 readers have read this article !
By mawbima 2018-11-16

සුළුතර ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට හැකි බව සමහරු ප්‍රකාශ කළත් එහෙම ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට හැකිවන්නේ අභියෝගයක් නැති අවස්ථාවක පමණක් යැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.


රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ එක්සත් ජාතික පෙරමුණ ඊයේ (15දා) පස්වරුවේ ලිප්ටන් වටරවුමේ සංවිධානය කළ "යුක්තියේ ජනහඬ" ජනතා රැලියට සහභාගි වෙමිනි.


එහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් එජාප නායකයා මෙසේද සඳහන් කළේය.


"2015 ජනවාරි 08 වෙනසින් ජනතාව අලුත් රටක් බලාපොරොත්තු වුණා. ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය, රැකියා, ජී.එස්.පී. සහනය ආදිය අපේක්ෂා කළා. ඔවුන් 2014ට වඩා යහපත් වෙනසක් අපේක්ෂාවෙන් තමයි ඒ වෙනස සිදු කළේ. ඒත් ඇතිවී තිබෙන ව්‍යාකූල බව නිසා ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසයක් නැති තත්ත්වයට පත් වෙලා. අපි අනාථ වුණා කියන හැඟීමකින් සිටිනවා.


ඒත් කුමන බාධක පැමිණියත් ජනවාරි 8 වෙනස මඟින් ඇති කළ බලාපොරොත්තු ඉටු කිරීමට අපි කැපවී සිටිනවා. ජනාධිපතිවරයා අෑත් වුණත් අපි එම වගකීමෙන් අෑත් වෙන්නේ නැහැ.


මේ රටට සර්වජන ඡන්ද බලය ලැබිලා අවුරුදු 85ක් වෙනවා. එමඟින් ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ට කැමැති පාලකයෙක් තෝරාපත් කර ගැනීමේ පරමාධිපත්‍යයක් ජනතාවට හිමි වුණා. එම නියෝජිතයන් තමයි එතකොට පාලනය ගෙන යන්නෙ. ඒ වගකීම් ඉටු නොකරන පාලකයන් ජනතාව විසින්ම ඉවත් කරනවා. ඒක තමයි ජනතා පරමාධිපත්‍යය කියන්නෙ.


ඒත් මේ රටේ සිදුවී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයටත්, ජනතා පරමාධිපත්‍යයටත් එකඟ දෙයක් නොවෙයි. ඒක නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්න ජනතාව අද එක්වී සිටින්නෙ. එම ජනතාව සමඟින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපිත් එක් වෙනවා. ඊට කැප වෙනවා.


මෙරට ඉතිහාසයේ පෙර නොවූ දෙයක් තමයි අද සිදුවෙලා තියෙන්නෙ. සුද්දන්ගෙ කාලෙවත් පරමාධිපත්‍යයට මෙහෙම පයින් ගැහුවේ නැහැ. පාර්ලිමේන්තුවම එකතු වෙලා වැඩ කළා. අපි 19 සංශෝධනය මඟින් පාර්ලිමේන්තුව තව තවත් ශක්තිමත් කළා. ඒත් ජනාධිපති ඒකට පයින් ගැහුවා.


මහින්ද රාජපක්ෂ අගමැති කිරීමට විරුද්ධ වුණාම පාර්ලිමේන්තුව කල් තැබුවා. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න කිව්වම පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඒත් පසුගිය 14 වැනිදා කථානායකවරයා ඉතා නිර්භීතව පාර්ලිමේන්තුවේදී ඡන්දයක් විමසා මහින්ද රාජපක්ෂට බහුතර කැමැත්ත නැහැ කියල තහවුරු කළා.


මහින්ද රාජපක්ෂට සහයෝගය තියෙනවා නම් එම සහයෝගය තියෙනව කියල යෝජනාවක් ගේන්න අවකාශ තිබුණා. ඒත් එහෙම කළේ නැහැ. ඒ නිසා අනුර කුමාර දිසානායක විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. ඒක ඡන්ද 122කින් ජයග්‍රහණ කළා.


විශ්වාසභංගයෙන් මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත නැහැ කියල තහවුරු වුණාම ඒක කථානායකතුමා ජනාධිපතිට දැන්වුවා. ඒක ප්‍රතික්ෂේප කරන්න ජනාධිපතිට බැහැ.


විශ්වාසභංගයකින් පරාජය වුණාම ස්ථාවර නියෝග 48 (2) යටතේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවක් නැහැ කියලා කථානායකතුමා ප්‍රකාශ කළා. ඒත් ඒක පිළිගන්නෙ නැතුව වතුර බෝතල්වලින් කථානායකට ගැහුවා.


ජනතා පරමාධිපත්‍ය තියෙනවා කියල හිතනවා නම් ව්‍යවස්ථාව අනුව ආණ්ඩුවක් පත් කරලා මැතිවරණයකට යන්න අපි සූදානම්. පක්ෂ නායකයන් කියන විධියට ඡන්දයකට යන්න අපි කැමැතියි. ඒත් ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත් දෙකම එකට පවත්වන ලෙස අපි කියනවා. ලබන ජනවාරි 8න් පසුව ජනාධිපතිවරණයක් පවත්වන්න හැකියාව තිබෙනවා.


සිරිසේන රාජපක්ෂ කල්ලිය පාර්ලිමේන්තුවෙනුත්, රටෙනුත් කොන්වෙලා ඉවරයි. ඒ අයට තිබෙන්නෙ විධායකයත් මාධ්‍ය ආයතන ටිකත් පමණයි.
රට වටේම සිදු කරන ජන බල මෙහෙයුමකින් බලය තහවුරු කරගන්න අපි සූදානම්. ඒ සඳහා ගම් මට්ටමින් ජනතාව ඒකරාශී කළ යුතුයි."
එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස


"වසර තුනහමාරකට පෙර ජනබලයෙන් ජනතා ආශීර්වාදයෙන් බිහි කළ යහපාලන ආණ්ඩුව, ජනවරමට ජන ශක්තියට පයින් ගහල ඔක්තෝබර් 26දා කුමන්ත්‍රණයක් දියත් කළා. අද තියෙන ප්‍රශ්නය දේශපාලන පක්ෂ අතර තියෙන ප්‍රශ්නයක් නොවෙයි. ශිෂ්ටත්වයත් අශිෂ්ටත්වයත් අතර ප්‍රශ්නයක්. ඒකාධිපතිවාදය ආඥාදායකත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය අතර ප්‍රශ්නයක්. සමහරු හිතාගෙන හිටියා යහපාලන කාලය තුළ මහ ලොකු වෙනසක් වෙලා නැහැ කියලා. නමුත් අධිකරණයේ ස්වාධිපත්‍ය හා ජනතා පරමාධිපත්‍ය අපේ අධිකරණයෙන් දැක්කා. කථානායකතුමා පාර්ලිමේන්තු තීන්දුවලට බය නැති වීරෝදාර නායකයෙක් බව අදත් ඊයෙත් අප දැක්කා. ප්‍රජාතන්ත්‍රවාදය ආඥාදායකත්වය ඊයේ පෙරේදා අපි දැක්කා. ජනවරමක් නැති හොර අගමැතිකම්, ඇමැතිකම් ලැබූ අය ඡන්දවලට බයේ පැන යනවා අපි දැක්කා. පාර්ලිමේන්තුවේ ජනබලයක් ජනවරමක් නැති අය කවුද කියල අපි දැක්කා. අපි පෙරේදාත් දිනුම්, ඊයේත් දිනුම්, අදත් දිනුවා."


එ.ජා.ප. මහ ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම්
"අලුත් අගමැති කෙනෙක් පත් කරල 113 බහුතර බලයක් තියෙනව ඒක පෙන්නනව කියල පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒත් අපි නිල නොලත් අගමැතිට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කළා.


ජනතාව අප සමඟ සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිටිනවා. ඒ වගේම අපට පාර්ලිමේන්තුවේ බහුතරය සිටිනවා. එදා ආවෙ හතර පස් දෙනයි. තවත් විස්සක් විතර එන්න ඉන්නවා. එහෙම වුණොත් 150ක් විතර බලයක් අප සමඟ සිටිනවා."


ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක
"2015 දී රාජපක්ෂ බොරු සෝබන, සල්ලි මලු ඉදිරියෙන් අපි ජනතා බලය පෙන්නුවා. අපි යළිත් කියනවා හැත්තෑ ලක්ෂයකට වැඩි පිරිසක් සමඟ මහින්ද එළවන්න ලෑස්තියි.
බටහිර රටවල් ඉදිරියේ අපි දණ ගහලා කියල මහින්ද කියනවා. ඔහු මෙහෙම කියන්නේ බැසිල්, ගෝඨා, ඩඩ්ලි ඇතුළු ඇමෙරිකන් පුරවැසියන් සමඟ සිටින ගමන්.
ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිල් මාරු කරනවා. ඒත් ජනාධිපති කෙනෙක් පිල් මාරු කළේ පළමු වතාවටයි.


රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවන්ගෙ දේපළ තහනම් කරනවා කිව්වම ගෝඨාභය, බැසිල් ආදීන් සොයා ගන්නත් නැහැ. කථානායකට හිරිහැර කරන චණ්ඩින්ට අපි කියනවා පුළුවන් නම් ලිප්ටන් වටරවුමට ඇවිත් චණ්ඩිකම් කරන්න කියලා.

රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්: "මහින්ද රාජපක්‍ෂ උගුලකට හසු කිරීම ගැන අපි ජනපතිට ස්තූති කරනවා. මහින්ද රාජපක්‍ෂ දැන් බිංදුවට වැටිලා. විශ්වාසභංග යෝජනාව ජයගන්න බැරුව ගෝලයන්ට කියනවා පහර දෙන්න කියලා.


පාර්ලිමේන්තුව කලින් කැඳවලා මදි. පුළුවන් නම් ජනාධිපතිවරණය කලින් කැඳවලා තරගයට එන්න කියලා අපි ජනාධිපතිතුමාට අභියෝග කරනවා.
ආචාර්ය ජයන්ත වික්‍රමරත්න: "බහුතරය පෙන්වන්න බැරිව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. අප අධිකරණයට ගිහින් ඒක නැවැත්තුවා. අපි එතැනින් නොනැවතී සටන ඉදිරියට ගෙන ගියා."


නව සමසමාජ පක්‍ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න: "මම සම සමාජකාරයෙක්. සමසමාජකාරයෙක් ඇයි මෙතැනට ආවේ. අපි කම්කරුවන් ගැන, කාන්තාවන් ගැන කතා කරන්නට මෙතැනට ඇවිත් තියෙනවා. අපි ඉන්නේ යුක්තිය හා සාධාරණය වෙනුවෙන්. අද මහින්ද රාජපක්‍ෂ ඉන්නේ අයුක්තිය හා අසාධාරණය වෙනුවෙන්. එයා කියලා තියෙනවා පාර්ලිමේන්තුව වැඩක් නෑ. ජනතාව වෙත මේ ප්‍රශ්නය ගෙනයමු. අද මෙතැන ඉන්නේ ලක්‍ෂ ගණන් ජනතාව. මහින්ද රාජපක්‍ෂ වගේ දරුණු පාලකයෙක් සමඟ ඉන්න බැරි නිසා එක එකා දාලා ගියා. අන්තිමට එයාට ගෙදර යන්න සිදුවුණා. අදත් අපට මේ සටන ඉදිරියට ගෙනිහින් මහින්ද ගෙදර යවන්න පුළුවන්."


හිටපු ඇමැති සරත් ෆොන්සේකා: "මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුව විනාශ කර එදා තමුන්නාන්සේලා දුන් වරමට පයින් ගහලා ජනාධිපතිවරයා ජනතාවට සිදුකළේ මහ විනාශයක්. එදා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා, දූෂිතයා කිව්වා. අද මේ දෙන්න කැවුමයි, බුරියයි වගේ. සබරගමුවේ ජනතාව කියන්නේ මේ දෙන්නා රයිගමයි ගම්පළයි කියලා. දකුණේ අය කියන්නේ ජසයයි, ලෙංචිනයි කියලා. අපි පොලිසියෙන් හමුදාවෙන් ඉල්ලනවා, මේ දූෂිත දේශපාලනඥයන් ආරක්‍ෂා කරන්න එපා කියලා."
දඹර අමිල හිමි: "අපි ගැසට් සිරිසේනට කියනවා බලාපල්ලා මහජනතාව. තව තියෙන්නේ හෝරා කිහිපයයි. වටලනවා ප්‍රජාතන්ත්‍රවාදය රකින්න. අර මැදමුලනේ මහ රජාව මැදමුලනේ ජනේලයේ එල්ලුවා වගේ මෛත්‍රිපාලව පොළොන්නරුව ජනේලයේ එල්ලනවා. අපි පෙනී සිටින්නේ යුක්තිය සත්‍යය හා සාධාරණය වෙනුවෙන්. ගංගාරාමයේ ලොකු හාමුදුරුවන්ට කියන්නේ ඇවිත් බලන්න මේ මහජන ගංගාව දෙස. අපේ රට මිනීමරුවන්ගේ දේශයක් කරන්න ඉඩ දෙන්න බැහැ. අපි ආපහු මුලට ගිහින් මාත්‍රාවත් ඇතිව යහපාලනය හදනවා.


මනෝ ගනේෂන් මහතා: "මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට මුලින්ම ස්තුති කරන්න ඕන. එක්සත් ජාතික පෙරමුණ එතුමාගේ ක්‍රියාකලාපය නිසා ශක්තිමත් කළා. මෛත්‍රි අද මහින්දට වළක් කපලා තියෙන්නේ."


වෛද්‍ය රාජිත සේනාරත්න මහතා: "අධිකරණය, ව්‍යවස්ථාදායකය අපි ජය ගෙන තිබෙනවා. මේ සතිය අවසන් වන විට අපි විධායකය ජය ගන්නවා. අපි මේ ජනතාව මහින්ද රාජපක්‍ෂගෙ කාර්යාලය, ජනාධිපති කාර්යාලය වටලන්න කැඳවනවා. හමුදා බැරියර් දමල ඒවා නතර කරන්න බැහැ. අපි තමයි ජනාධිපතිට බලතල දුන්නේ. මේ ක්‍රමය නතර කරන්නෙ ජනාධිපති ක්‍රමය අහෝසි කරලයි."


එජාප ජාතික සංවිධායක නීතිඥ නවීන් දිසානායක:
"රනිල් වික්‍රමසිංහ ඉවත් කළාම ඒකට හිස නමලා අපි නිහඬව සිටියි කියල සිරිසේන ජනාධිපති හිතුවා."
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්:
"පාර්ලිමේන්තුව බූරු පිටියක් කියලා හිතාගෙනයි සිරිසේන ජනාධිපතිවරයා වැඩ කරන්නෙ. ජනාධිපතිගෙ ළඟ තුරුම්පු නැහැ. ඉන්නෙ බූරුවො විතරයි.
පාර්ලිමේන්තුවට ඇවිත් දවස් දෙකක්ම බහුතරය නැතිව කුජීත වුණු මහින්ද රාජපක්‍ෂට අපි කියනවා ඉල්ලා අස්වන ලෙසයි."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon