බළන්ගොඩ එළවළු මිල ගණන් තුන්ගුණයකින් ඉහළට

  👤  2463 readers have read this article !
By mawbima 2018-11-16

බළන්ගොඩ - නලින්ද වලේබොඩ


බළන්ගොඩ සහ තදාසන්න ප්‍රදේශයේ එළවළු වර්ගවල හිඟයක් පවතින බවත් ඒවායේ මිල ගණන් ඉකුත් දිනවලට වඩා ඊයේ (15දා) තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවත් ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසති.


මෙලෙස උඩරට සහ පහතරට එළවළු වර්ග සියල්ලේම මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජනතාව සඳහන් කරති. ඒ අනුව දෙහි කිලෝවක මිල රුපියල් 800ක් දක්වාත්, බෝංචි කිලෝවක මිල රුපියල් 320ක් දක්වාත්, මාළුමිරිස් කිලෝවක මිල රුපියල් 320ක් දක්වාත්, ඉකුත් දිනවල රුපියල් විස්සට පැවැති කක්කාලි කිලෝවක මිල රුපියල් 320ක් දක්වාත්, කරවිල කිලෝවක මිල රුපියල් 280 දක්වාත්, කැරට් කිලෝවක මිල රුපියල් 400ක් දක්වාත්, ලීක්ස් කිලෝවක මිල රුපියල් 200ක් දක්වාත්, බීට් කිලෝවක මිල රුපියල් 200ක් දක්වාත් ඉතා අධික ලෙස මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව පවසති.


ඉකුත් දිනවල රුපියල් හැටත් අසූවත් මිල ගණන්වලට පැවැති බටු, මෑ, ගෝවා, කැකිරි, බණ්ඩක්කා, රාබු වැනි එළවළු වර්ගවල කිලෝවක මිල ගණන් රුපියල් 160ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනතාව පවසති.


මේ සම්බන්ධයෙන් බළන්ගොඩ නගරයේ එළවළු වෙළෙඳසල් කිහිපයකින් විමසූ විට එම එළවළු වෙළෙන්දන් පැවැසුවේ පසුගිය දිනවල පැවැති අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශයේ එළවළු වගාවන් විනාශ වී ඇති බවත් ඒ හේතුවෙන් වෙළෙඳසල්වලට ලැබෙන එළවළු වර්ගවල විශාල හිඟයක් පවතින බවයි. ඊට අමතරව බළන්ගොඩ ප්‍රදේශයට එළවළු තොග ලැබෙන බණ්ඩාරවෙල, හපුතලේ, දියතලාව, වැලිමඩ ප්‍රදේශවලත් වර්ෂාවත් සමඟ එළවළු වගාවන් විනාශ වී ඇති බවත් එම ප්‍රදේශවලින් ලැබෙන එළවළු තොග අඩුවී ඇති බවත්ය. මේ දිනවල පාරිභෝගිකයන් එළවළු වර්ගවල මිල විමසා මිල අධික බැවින් එළවළු මිලදී නොගෙන යන බවත් එම වෙළෙඳසල් හිමියෝ පවසති. එළවළු මිල ඉහළ යෑමත් සමඟ පාරිභෝගික ජනතාව මෙන්ම තමන්ද අසරණ වී සිටින බව බළන්ගොඩ එළවළු වෙළෙන්දෝ පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon