උතුරු පළාතේ ඉඩම් විදේශිකයන්ට බදු දීම හා වෙනත් පිරිස්වලට පැවරීමට එරෙහිව විරෝධතාවක්

  👤  2449 readers have read this article !
By mawbima 2018-11-16

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ


උතුර නැඟෙනහිර පළාත්වල ඉඩම් විදේශ රටවලට බදු දීම හා එම පළාත්වල වැසියන්ගේ ඉඩම් වෙනත් පිරිස්වලට ලබා දීම වළක්වාලීමට ඇමෙරිකා රජයට මැදිහත් වන ලෙස ඉල්ලමින් උතුරේ ස්වේච්ඡා සංවිධාන ගණනාවක් පෙරේදා (14දා) යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා ඒ පිළිබඳව ඉල්ලීම් ඇතුළත් ලිපියක්ද භාරදෙන ලදී.


යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිටින් මේ විරෝධතාව ආරම්භ කොට විරෝධතාකරුවන් යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත ගොස් ලිපිය භාර දෙන ලදී.
උතුර නැඟෙනහිර පළාත්වල ඉඩම් පරිහරණය කිරීමේදී ඉඩම් අයිතිකරුවන්ගේ අයිතිය පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදන්වා සෑම රජයක්ම ඔවුන්ට අවශ්‍ය අන්දමට ඉඩම් පරිහරණය කරන බව එම ලිපියේ සඳහන් කොට තිබේ.


මේ අයථා ඉඩම් පරිහරණය පිළිබඳ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී කරුණු සාකච්ඡා වුවත් අවම තරමින් ඒ සාකච්ඡාවේදී එළැඹුණු තීරණ රජය ක්‍රියාත්මක නොකළ බවද එම ලිපියේ සඳහන් කොට තිබේ.


යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන් සොයා දෙන මෙන් උතුරේ වැසියෝ දින 632ක් තිස්සේ අඛණ්ඩ විරෝධතාවක නිරත වන නමුත් ඒ පිළිබඳව රජයේ අවධානය යොමු වී නොමැති බවද විරෝධතාකරුවන්ගේ ලිපියේ සඳහන් කොට ඇත. විරෝධතාකරුවෝ ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා රජයෙන් ඉටු නොවන මේ කරුණු දෙස අවධානය යොමු කොට ඒවා ඉටුකොට දෙන මෙන් ශ්‍රී ලංකා රජයට බලපෑම් කොට උතුර නැඟෙනහිර දෙමළ ජනතාවට යම් සහනයක් සලසා දෙන ලෙසයි.
ලිපිය යොමුකොට ඇත්තේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙතයි.


ඇමෙරිකානු ජනාධිපතිවරයාට යැවීමට යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට භාරදුන් ලිපිය එහි නියෝජිතයන් විසින් භාර ගෙන තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon